3. 11.
එකොළොස්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී බොහෝ ඇසූපිරූ තැන් ඇත්තී පිරිවැහු බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්රවූවා වෙයි, එකල්හි ප්රසේනජිත් කෝශල රජතෙමේ ශිතකාලයෙහි මහඇඟි පලසක් පොරවා ථුල්ලනන්දා භික්ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹ ථුල්ලනන්දා භික්ෂුණිය සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නාවූ මැ ප්රසේනජිත් කෝශල රජහට ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ යැ. මොනවට කරුණු ගැන්වූ යැ. මොනවට තෙද ගැන්වූ යැ, මොනවට සතුටු කරවූ යැ, එකල්හි ප්රසේනජිත් කෝශල රජ තෙමේ ථුල්ලනන්දා භික්ෂුණිය විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙදගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ ථුල්ලනන්දා භික්ෂුණියට “ආර්ය්යාවෙනි, යමෙකින් ප්රයෝජනයෙක් වේ නම් කියන්නැ” යි මෙය කීයැ. ඉදින් මහරජ, දෙනුකැමැත්තෙහි නම් මේ පලස මට දෙන්නැ යි කිවූ යැ. එකල්හි ප්රසේනජිත් කෝශල රජතෙමේ ථුල්ලනන්දා භික්ෂුණියට පලස දී හුනස්නෙන් නැගිට ථුල්ලනන්දා භික්ෂුණිය සකසා වැඳ පැදකුණු කොට ගියේ යි.
2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මේ භික්ෂුණීහු මහත් ගිජුකම් ඇතියාහු යැ, ලදදැයින් නො සතුටුවන්නාහු යැ, කෙසේ නම් රජහුගෙන් පලසක් විනවූහුදැ” යි, භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්ද) ඇසූහු මැ යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්ය ථුල්ලනන්දා රජුගෙන් පලසක් විනවූ දැ” යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී රජහුගෙන් පලසක් විනවූ දැ යි, සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී රජහුගෙන් පලසක් විනවූ ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
ගරු පොරෝනයක් විනවන මෙහෙණක විසින් සොළොස්කහවණුවක් පරම කොට ඇතියක් විනවිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි විනවා නම් නිසඟි පචිති වේ යැයි.
3. ගරුපාපුරණ නම්: ශිතකාලයෙහි යම් කිසි පොරෝනයක්;
චේතාපෙන්තියා: විනවන්නිය විසින්;
චතුක්කංසපරමං චේතාපේතබ්බං: සොළොස් කහවණුවක් අගය ඇතියක් විනවිය යුතු යි.
තතො චෙ උත්තරිං චේතාපෙය්ය: ඉන් මත්තෙහි විනවා නම් පියෝහි දුකුළා වෙයි. ප්රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි. මෙසේ ද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්ය්යාවෙනි, අයිරා සොළොස් කහවණුවක් පරම කොට ඇති මේ ගරු පොරෝනය මා විසින් විනවන ලදු වැ නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේ යැ ... දෙන්නාහුයැ ... ආර්ය්යාවට දෙමි යි.
අයිරා සොළොස් කහවණුයෙහි අයිරාසන් ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි. අයිරා සොළොස් කහවණුයෙහි විමති ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි, අයිරා සොළොස් කහවණුයෙහි උනුසන් ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි.
උනු සොළොස් කහවණුයෙහි අයිරාසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනුසොළොස් කහවණුයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනුසොළොස් කහවණුයෙහි උනුසන් ඇතියා නම් ඇවැත් නැති.