3. 12.
දොළොස්වන සිකපදය
1. එසමයෙහි බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහු බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍රවූවා වෙයි. එකල්හි ප්‍රසේනජිත් කෝශල රජ තෙමේ උෂ්ණකාලයෙහි මහඇඟි කොමු පිළියක් පෙරෙවගෙන ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹැ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සකසා වැඳ එකත් පසෙකැ හුන්නා වූ ප්‍රසේනජිත් කෝශල රජහට ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ යැ. මොනවට කරුණු ගැන්වූ යැ. මොනවට තෙද ගැන්වූ යැ, මොනවට සතුටු කරවූ යැ, එකල්හි ප්‍රසේනජිත් කෝශල රජ තෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙදගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට “ආර්‍ය්‍යාවෙනි, යමෙකින් ප්‍රයෝජනක් වේ නම් කියන්නැ” යි මෙය කීයැ, ඉදින් මහරජ දෙනු කැමැත්තෙහි නම් මේ කොමු පිළිය මට දෙන්නැ යි කිවූ යැ. එකල්හි ප්‍රසේනජිත් කෝශල රජු ථුල්ලනන්‍දා භික්‍ෂුණියට කොමු පිළිය දී හුනස්නෙන් නැගිට ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සකසා වැඳ පැදකුණු කොට ගියේ යි.
2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මේ භික්‍ෂුණීහු මහත් ගිජුකම් ඇතියාහු යැ. ලද දෙයින් නො සතුටු වූවාහු යැ. කෙසේ නම් රජහුගෙන් කොමු පිළියක් විනවූහු” දැ යි, භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැ යි, යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා රජහුගෙන් කොමු පිළියක් විනවූ” දැ යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී රජහුගෙන් කොමු පිළියක් විනවූ දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණීහු රජහුගෙන් කොමු පිළියක් විනවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“ලුහු පොරෝනයක් විනවන මෙහෙණක විසින් දසකහවණුවක් පරම කොට ඇතියක් විනවිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි විනවා නම් නිසඟි පචිති වේ” යයි.
3. ලහුපාපුරණ නම්: උෂ්ණකාලයෙහි යම් කිසි පොරෝනයක්.
චේතෝපෙන්තියා: විනවන්නිය විසින්.
අඩ්ඪතෙය්‍යකංසපරමං චේතෝපේතබ්බං: දසකහවණු අගය ඇතියක් විනවිය යුතු යි.
තතො චෙ උත්තරිං චේතාපෙය්‍ය: ඉන් මත්තෙහි විනවා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි. මෙසේ ද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අයිරා දස කහවණුවක් පරම කොට ඇති මේ ලුහු පොරෝනය මා විසින් විනවන ලදු වැ නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
අයිරා දසකහවණුයෙහි අයිරාසන් ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි. අයිරා දසකහවණුයෙහි විමති ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි. අයිරා දසකහවණුයෙහි උනුසන් ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි.
උනු දසකහවණුයෙහි අයිරාසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනු දසකහවණුයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනු දසකහවණුයෙහි උනුසන් ඇතියා නම් ඇවැත් නැති.
දසකහවණු පරම කොට ඇතියක් විනවා නම්, උනු දස කහවණු පරම කොට ඇතියක් විනවා නම්, නෑයන්ගෙන්, පැවරූවන්ගෙන්, අනෙකක්හු සඳහා නම්; තමාගේ ධනයෙන්, මහඇඟියක විනවනු කැමැතියහුගෙන් මඳ අගය ඇතියක් විනවා නම්; ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දොළොස්වන සිකපද යි.