3. 3.
තෙවන සිකපදය
1. ශ්රාවස්තිනිදානයි – එසමයෙහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ එක්තරා මෙහෙණක හා සමග සිවුරක් පරිවර්තනය කොට පිරිබෝ කරයි. එකල්හි ඒ මෙහෙණ තොමෝ ඒ සිවුර හකුළා බහා තැබූ යැ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ ඒ මෙහෙණහට මෙය කිවු යැ. “ආර්ය්යාවෙනි, තා විසින් මා සමග යම් සිවුරෙක් පරිවර්තනය කරන ලද ද, ඒ සිවුර කොහිදැ” යි. එකල්හි ඒ මෙහෙණ තොමෝ ඒ සිවුර බැහැරට ගෙන ථුල්ලනන්දා භික්ෂුණිය හට දැක්වූ යැ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ එ මෙහෙණහට මෙය කිවුයැ. “ආර්ය්යාවෙනි, තාගේ සිවුර ගනුව. මාගේ තෙල සිවුර ගෙනෙව. යම් සිවුරක් තාගේ නම් ඒ සිවුර තාහට මැයි. යම් සිවුරෙක් මාගේ නම් ඒ සිවුර මාහට මැයි. මාගේ තෙල සිවුර ගෙනෙව. සිය සිවුර පෙරළා ගනුව” යි අසිඳගත්තු යැ. එකල්හි ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්හට තෙල කරුණ සැලකළාය.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආර්ය්ය ථුල්ලනන්දා තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පරිවර්තනය කොට අසිඳගත්තුදැ” යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පරිවර්තනය කොට අසිඳගත්තුදැ”යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පරිවර්තනය කොට අසිඳගත්තුද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පිරිවැටුම් කොට පසු වැ මෙසේ කියන්නී ද “ආර්ය්යාවෙනි, තාගේ සිවුර ගනුව, මාගේ තෙල සිවුර ගෙනෙව, යම් සිවුරෙක් තාගේ නම් ඒ සිවුර තාහටමැ යි. යම් සිවුරෙක් මාගේ නම් ඒ සිවුර මාහටමැ යි. මාගේ තෙල සිවුර ගෙනෙව සිය සිවුර පෙරළා ගනුව” යි මෙසේ කියා අසිඳ ගනී නම් හෝ අසිඳ ගන්වා නම් හෝ නිසඟි පචිති වේ යැයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණිය යි.
4. භික්ඛුනියා සද්ධිං: අන් මෙහෙණක හා සමග,
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙහි යටත් පිරිසෙයින් විකැපුමට සුදුසු වූ එක්තරා සිවුරෙකි.
පරිචත්තෙත්වා: කුඩා දැයෙකින් මහත් දැයක් හෝ මහත් දැයෙකින් කුඩා දැයක් හෝ යැ.
අච්ඡින්දෙය්ය: තොමෝ අසිඳ ගනී නම් නිසැඟි පචිති වේ.
අච්ඡින්දාපෙය්ය: අනෙකක්හට අණවා නම් දුකුළා ඇවැත් වෙයි. එක් යළක් අණවන ලද්දී බොහෝ දැයකුත් අසිඳ ගනී නම් නිසැඟි පචිති වේ. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි ... ආර්ය්යාවෙනි, මා විසින් මේ සිවුර මෙහෙණක හා සමග පිරිවැටුම් කොට අසිඳ ගන්නා ලද්දේ නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්ය්යාවහට දෙමියි.
උපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා සිවුරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ නිසැඟි පචිති වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා සිවුරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ නිසැඟි පචිති වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා සිවුරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ නිසැඟි පචිති වේ.
අන් පිරිකරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක සමග සිවුරක් හෝ අන් පිරිකරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
ඕතොමෝ හෝ දේ නම්, ඇය කෙරෙහි විස්වස් ඇත්තී හෝ ගනී නම්, ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
තෙවන සිකපදයි.