3. 2.
දෙවැනි සිකපදය
1. ශ්රාවස්තිනිදානයි – එසමයෙහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස්වැස නිමියාහු වත් සපන් වූවාහු ඉරියවු සපන් වූවාහු දිරූ සිවුරු ඇත්තාහු රළු සිවුරු ඇත්තාහු සැවැතට ගියහ. උවසුවෝ ඒ මෙහෙණන් දැක මේ භික්ෂුණීහු වත්සපන්හ. ඉරියවු සපන්හ. දිරූ සිවුරු ඇතියහ. රළු සිවුරු ඇතියහ, මේ භික්ෂුණීහු අසිඳගතුවෝ වන්නාහයි මෙහෙණ සඟනට නො කල් සිවුරු දුන්හ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ අප විසින් කඨිනය අතුරන ලදී. (එබැවින්) කාලචීවරයැ යි ඉටා බෙදූ යැ. උවසුවෝ ඒ මෙහෙණන් දැක “ආර්ය්යාවන් විසින් සිවුරු ලබන ලදදැ”යි, මෙය කීහු. ඇවැත්නි, අපි සිවුරු නො ලබම්හ. ආර්ය්ය ථුල්ලනන්දා තොමෝ අප විසින් කඨිනය අතුරන ලද යැ. කාලචීවරයැ යි ඉටා බෙදවාලූ යැ යි මෙය කීහු. උවසුවෝ ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්ය්ය ථුල්ලනන්දා තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූදැ” යි.
2. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු මැයි, යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්ය ථුල්ලනන්දා තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූ” දැ යි ... සැබෑද මහණෙනි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූ දැ යි. සැබැව භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙ, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූ දැ යි. මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවා නම් නිසඟි පචිති වේ යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණිය යි.
අකාලචීවර නම්: කෙළින් නො අතුළ කල්හි එකොළොස් මස තුළ උපන්නේ ද කෙළින් අතුළ කල්හි සත්මස තුළ උපන්නේ ද වෙයි. කාලයෙහිදු උදෙසා දෙන ලද තෙල සිවුර අකාලචීවර නම් වේ.
අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවා නම් පියෝහි දුකුළා වෙයි. පිළිලැබීමෙන් නිසැඟි වේ. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි ... ආර්ය්යාවෙනි, මේ අකාල චීවරය කාලචීවරයැ යි ඉටා මා විසින් බෙදවන ලදී. (එහෙයින්) මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්ය්යාවට දෙමි යි.
අකාලචීවරයෙහි අකාලචීවරයැ යි සන් ඇතියා කාලචීවරයැ යි ඉටා බෙදවා නම් නිසැඟි පචිති වෙයි. අකාලචීවරයෙහි විමති ඇතියා කාලචීවරයැ යි ඉටා බෙදවා නම් දුකුළා ඇවැත් වෙයි. අකාලචීවරයෙහි කාලචීවරයැ යි සන් ඇතියා කාලචීවරයැ යි ඉටා බෙදවා නම් ඇවැත් නැති. කාලචීවරයෙහි අකාලචීවරයැ යි සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. කාලචීවරයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. කාලචීවරයෙහි කාලචීවරයැ යි සන් ඇතියා නම් ඇවැත් නැති.
අකාලචීවරය කාලචීවරයැ යි සන් ඇතියා බෙදවා නම්, කාලචීවරය කාලචීවරයැ යි සන් ඇතියා බෙදවා නම්, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
දෙවන සිකපද යි.