7. 1. 9.
ඤාණ සූත්රය
3131. මහණෙනි, මේ ඡන්දය නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාද ය යි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැ යි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැයි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැයි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි, වඩන ලදැයි පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැණ පහළ විය. මට පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී ය යි.
7. 1. 10.
චේතිය සූත්රය
3132. එක්කලෙක භාග්යවතුන් වහන්සේ විසල්නුවර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන පිඬු පිණිස විසල්පුර පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකි සේක්: “ආනන්දය, නිසීදනය ගනු. චාපාල සෑය කරා දිවාවිහරණය පිණිස යම්හ”යි ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක. “වහන්ස එසේ ය”යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් අස්වා නිසීදනය රැගෙන පසුපස භාග්යවතුන් වහන්සේට අනුගමන් කළහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ චාපාල සෑය වෙත එළඹි සේක. එළඹ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් අනඳ තෙරණුවන්ට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ආනන්දය, විසල්පුර සිත්කලු ය. උදේන සෑය සිත්කලු ය. ගෝතමක සෑය සිත්කලු ය. සත්තම්බ සෑය සිත්කලු ය. බහුපුත්ත සෑය සිත්කලු ය. සාරන්දද සෑය සිත්කලු ය. චාපාල සෑය සිත්කලු ය. ආනන්දය, යම් කිසිවකු විසින් මේ සිවු ඍද්ධිපාදයෝ වඩන ලද්දාහු පුනපුනා කරන ලද්දාහු යානයක් මෙන් කරන ලද්දාහු වාස්තුවක් මෙන් කරන ලද්දාහු අනුෂ්ඨිත වූවාහු පුරුදු කරන ලද්දාහු මැනැවින් අරඹන ලද්දාහු වෙද්ද, හෙතෙමේ කැමති වන්නේ නම් ආයුෂ්කල්පයක් (සියවසක්) හෝ එයට මදක් වැඩි කලක් හෝ සිටුනේ ය. ආනන්දය, තථාගතයන් විසින් සිවු ඍද්ධිපාදයෝ වඩන ලදහ, බහුල කරන ලදහ, යානයක් මෙන් කරන ලදහ, වාස්තුවක් මෙන් කරන ලදහ, අනුෂ්ඨිතයහ, පරිවිතයහ, සුසමාරබ්ධයහ. ආනන්දය, කැමති වන්නේ නම් තථාගත තෙමේ කපක් හෝ එයට මඳක් වැඩි කලක් හෝ සිටුනේ යි. මෙසේත් භාග්යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති කරන කල්හි පැහැදිලි හෙලිකිරීම් කරන කල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මරු විසින් මැඩ ගන්නා ලද අන් පුහුදුන් කෙනකු මෙන් තුමූත් පිළිවිදිනට නො හැකි වූහ. “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිතසුව පිණිස භාග්යවතුන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක්වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක්වා”යි භාග්යවතුන් වහන්සේ නො යැද්දහ.
දෙවන වට දු භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙය වදාළ සේක: “ආනන්දය, විසල්පුර සිත්කලු ය ... “තෙවන වට දු භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙය වදාළ සේක: “ආනන්දය, විසල්පුර සිත්කලු ය. උදේන සෑය සිත්කලු ය. ගෝතමක සෑය සිත්කලු ය. සත්තම්බ සෑය සිත්කලු ය. බහුපුත්ත සෑය සිත්කලු ය. සාරන්දද සෑය සිත්කලු ය. චාපාල සෑය සිත්කලු ය. ආනන්දය, යම් කිසිවකු විසින් සිවු ඉදුපා භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාරබ්ධ වේ ද, ආනන්ද හෙතෙමේ කැමති වන්නේ නම් කපක් හෝ කපට මඳක් වැඩි කලක් සිටුනේ ය. ආනන්දය, තථාගතයන් විසින් සිවු ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වාස්තුකෘත ය, අනුෂ්ඨිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය. ආනන්ද, තථාගත තෙමේ කැමති වන්නේ නම් කපක් හෝ මඳකින් වැඩි කපක් හෝ සිටුනේ යි.
මෙසේත් භාග්යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති කරන කල්හි පැහැදිලි හෙළි කිරීම් කරන කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මරු විසින් මැඩ ගන්නා ලද සිත් ඇති අන් පුහුදුන් කෙනකු මෙන් තුමූත් පිළිවිදිනට නො හැකි වූහ. “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස වැඩ පිණිස දෙව්මිනිසුන්ට හිතසුව පිණිස භාග්යවතුන් වහන්සේ කපක් වැඩ සිටිනා සේක්වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටිනා සේක්වා”යි භාග්යවතුන් වහන්සේ නො යැද්දහ.