7. 1. 8.
අරහන්ත සූත්රය
3130. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්දය නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්ය්ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මොහු සිවු ඉදුපා යි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ අර්හත් සම්යක් සම්බුද්ධ ය යි කියනු ලැබේ යි.
7. 1. 9.
ඤාණ සූත්රය
3131. මහණෙනි, මේ ඡන්දය නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාද ය යි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැ යි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැයි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැයි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි, වඩන ලදැයි පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැණ පහළ විය. මට පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී ය යි.
7. 1. 10.
චේතිය සූත්රය
3132. එක්කලෙක භාග්යවතුන් වහන්සේ විසල්නුවර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන පිඬු පිණිස විසල්පුර පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකි සේක්: “ආනන්දය, නිසීදනය ගනු. චාපාල සෑය කරා දිවාවිහරණය පිණිස යම්හ”යි ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක. “වහන්ස එසේ ය”යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් අස්වා නිසීදනය රැගෙන පසුපස භාග්යවතුන් වහන්සේට අනුගමන් කළහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ චාපාල සෑය වෙත එළඹි සේක. එළඹ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් අනඳ තෙරණුවන්ට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක: