4. 2. 8.
පටිපන්න සූත්‍රය
1702. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් රහත්පල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අනගැමිපල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමිපල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන්පල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. මහණෙනි, යමකුට මේ පසිඳුරෝ මුළුමනින් සියලු අයුරින් නැද්ද, හෙතෙමේ බැහැර වූ පුහුදුන් පසෙහි සිටියේ ය යි මම කියමි යි.
4. 2. 9.
සම්පන්න සූත්‍රය
1703. ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැලකෙළේ ය. වහන්ස, ඉන්‍ද්‍රියසම්පන්නය ඉන්‍ද්‍රියසම්පන්නය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්නය වේදැ යි? මහණ, මෙහි මහණතෙමේ කෙලෙස් සංහිඳිමට පමුණුවනසුලු සිවුමඟනැණ පිළිවිදුමට පමුණුවනසුලු සද්ධින්‍ද්‍රිය වඩයි ... කෙලෙස් සංසිඳුවීමට පමුණුවනසුලු සිවුමඟනැණ පිළිවිදුමට පමුණුවනසුලු පඤ්ඤින්‍ද්‍රිය වඩයි. මහණ මෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්න (-පිරිපුන් ඉඳුරන් ඇත්තේ) වේ යි.
4. 2. 10.
ආසවක්ඛය සූත්‍රය
1704. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
දෙවෙනි මුදුතර වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පටිලාභ සූත්‍රය, සඞ්ඛිත්ත සූත්‍ර තුන ය, අනෙක් විත්‍ථාර සූත්‍ර තුන ය, පටිපන්නසම්පන්නසූත්‍ර දෙක ය. දශවන ආසවක්ඛයසූත්‍ර ය යි දශසූත්‍රාන්ත කෙනෙකි යි.