4. 2. 9.
සම්පන්න සූත්‍රය
1703. ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැලකෙළේ ය. වහන්ස, ඉන්‍ද්‍රියසම්පන්නය ඉන්‍ද්‍රියසම්පන්නය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්නය වේදැ යි? මහණ, මෙහි මහණතෙමේ කෙලෙස් සංහිඳිමට පමුණුවනසුලු සිවුමඟනැණ පිළිවිදුමට පමුණුවනසුලු සද්ධින්‍ද්‍රිය වඩයි ... කෙලෙස් සංසිඳුවීමට පමුණුවනසුලු සිවුමඟනැණ පිළිවිදුමට පමුණුවනසුලු පඤ්ඤින්‍ද්‍රිය වඩයි. මහණ මෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්න (-පිරිපුන් ඉඳුරන් ඇත්තේ) වේ යි.
4. 2. 10.
ආසවක්ඛය සූත්‍රය
1704. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
දෙවෙනි මුදුතර වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පටිලාභ සූත්‍රය, සඞ්ඛිත්ත සූත්‍ර තුන ය, අනෙක් විත්‍ථාර සූත්‍ර තුන ය, පටිපන්නසම්පන්නසූත්‍ර දෙක ය. දශවන ආසවක්ඛයසූත්‍ර ය යි දශසූත්‍රාන්ත කෙනෙකි යි.
3. ඡළින්‍ද්‍රිය වර්‍ගය
4. 3. 1.
පුනබ්භව සූත්‍රය
1705. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යී. මහණෙනි, මම යම්තාක් මේ පසිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයක් නිස්සරණයත් තතුසේ නො දත්තෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බෝධිය (=බුද්ධත්‍වය) අවබෝධ කෙළෙමැ යි නො ම පිළිණ කෙළෙමි. මහණෙනි, මම යම් කලෙක මේ පසිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයක් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දත්තෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි පිළින කෙළෙමි. මට පස්විකුම්නැණ ද පහළ විය. මාගේ අරහත්ඵලවිමුක්තිය නො සැලේ (නො පිරිහේ). මේ අන්තිම ඉපැද්ම යි. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
4. 3. 2.
ජීවිතින්‍ද්‍රිය සූත්‍රය
1706. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය තුනෙකි. කවර තුනෙක් ද යත්: ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ජීවිතින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු තුන් ඉඳුරෝ යි.
4. 3. 3.
අඤ්ඤින්‍ද්‍රිය සූත්‍රය
1707. මහණෙනි, ඉන්‍ද්‍රිය තුනෙකි. කවර තුනෙක් ද යත්: අඤ්ඤතඤ්ඤස්සාමිතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු තුන් ඉඳුරෝ යි.