2. 6. 2.
පරියාය සූත්රය
598. එකල්හි බොහෝ භික්ෂූහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් විය; “සැවතෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම කල් වැඩි ය අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළැඹෙන්නමෝ නම් මැනවැ” යි. එකල්හි ඒ භික්ෂූහු අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹියහ. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වුහ. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත් පස්ව හුන්හ. එකත් පස් ව හුන් ඒ භික්ෂූන්ට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ: ඇවැත්නි, “මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි “මහණෙනි, එව, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි. ඇවැත්නි, අපිදු සව්වනට මෙසේ දහම් දෙසමු.”ඇවැත්නි, එව. තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි. ඇවැත්නි, ශ්රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් මේ ධර්මදේශනාව හා සමග ධර්මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂ කීම? අධික ප්රයෝග කිම? නානාත්ව කිමැයි.
ඉක්බිති ඒ භික්ෂූහු ඒ අන්තොටු පිරිවැජ්ජන්ගේ දෙසුම නො ම පිළිගත්හ, නොම පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට “භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ දෙසුම්හි අරුත දැන ගන්නමෝයි හුනස්නෙන් නැඟිට ගියහ. ඉක්බිති ඒ භික්ෂූහු සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි අපි පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියෙමු. වහන්ස, ඒ අපට මේ සිතවිය: “සැවතෙහි පිඬු පිණිස හැසිරෙන්නට තවම කල් වැඩිය. අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹෙන්නමෝ නම් මැනවැ” යි.
වහන්ස, ඉක්බිති අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වූමු. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ; “ඇවැත්නි, මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි: “මහණෙනි එව, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි.
ඇවැත්නි, අපිත් සව්වනට මෙසේ දහම් දෙසමු: “ඇවැත්නි, එව තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි. ඇවැත්නි, ශ්රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් මේ ධර්මදේශනාව හා සමග ධර්මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂකිම, අධික ප්රයෝග කීම නානාත්වකිමැ’ යි. වහන්ස, ඉක්බිති අපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ගේ දෙසුම නො ම පිළිගතුම්හ. නො ම පිළිකෙව් කළම්හ. නො පිළිගෙන නො පිළිකෙව් කොට භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මෙ වදනෙහි අරුත දැනගන්නමෝ යි හුනස්නෙන් නැඟිට පිටත් ව ගියෙමු.
මහණෙනි, මෙසේ කියන ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කිව යුතු වන්නාහ; “ඇවැත්නි, යම් නයකට පැමිණ පඤ්චනීවරණ දසයෙක් වේ නම්, සත්බොජඟ තුදුසෙක් වේ නම් එබඳු නයෙක් ඇත්දැ” යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජෝ (පිළිතුරු) සපයා කියන්නට නො ද හැකි වන්නාහ. මතු දුකටත් පැමිණෙන්නාහ. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය කරුණෙහි ලා (පුළුවුස්නා ලද්දේ) යම් සේ නම් එහෙයිනි. මහණෙනි, තථාගත කෙනෙකුන් විසින් හෝ තථාගත සව්වකු විසින් හෝ මෙයින් (-මාගේ සස්නෙන්) අසා (-ඉගෙන) හෝ හැර යමෙක් මේ පැන විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ප්රජායෙහි එබන්දකු මම නො ම දකිමි.
මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. මෙසේ මෙය කාමච්ඡන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ.
මහණෙනි, ඇතුළත යම් ව්යාපාදයෙකුත් වේ නම් එ ද නීවරණයෙකි. පිටත යම් ව්යාපාදයෙකුත් වේ නම් එ ද නීවරණයෙකි. මෙසේ මෙය ව්යාපාදනීවරණය යි උදෙසීමට යෙයි. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ.
යම් ථීනයකුත් වේ නම් එ ද නීවරණයෙකි. යම් මිද්ධයකුත් වේ නම් එද නීවරණයෙකි. මෙසේ මෙය ථීනමිද්ධනීවරණය යි උදෙසීමට යෙයි. ඒ මෙනයිනුදු දෙකෙක් වේ.
මහණෙනි, යම් උද්ධච්චයකුත් වේ නම් එ ද නීවරණයෙකි. යම් කුක්කුච්චයකුත් වේ නම් එ ද නීවරණයෙකි. මෙසේ මෙය උද්ධච්චකුක්කුච්චනීවරණය යි උදෙසීමට යෙයි. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ.