2. 5. 7.
අදළිද්ද සූත්රය
593. වහන්ස, “නොදිළිඳු ය නොදිළිඳු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “නොදිළිඳු ය” යි කියනු ලැබේ දෝ යි.මහණ, සත් බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් නොදිළිඳු ය යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපෙක්ඛාසම්බොජඟ යි. මහණ, මේ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් “නොදිළිඳු ය” යි කියනු ලැබේ යි.
2. 5. 8.
ආදිච්ච සූත්රය
594. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු ය, මේ පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ කල්යාණමිත්රත්වයෙක් වේ ද, මහණහට සත්බොජඟ ඉපදීමට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත සිහිසම්බොජඟ විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ මෙසේ සත් බොජඟ වඩයි, සත් බොජඟ බහුල කෙරේ යි.
2. 5. 9.
අඞ්ග සූත්රය
595. මහණෙනි, මේ යෝනිසෝමනසිකාරය යම් බඳු ද, මහණෙනි, සත්බොජඟ ඉපදීමට ඇතුළත වූ අවයවයක් කොට අන් එක් අවයවයකුදු නො ම දකිමි. මහණෙනි, සත්බොජඟ වඩන්නේ ය, සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ තෙමේ කෙසේ නම් සත්බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සිහිසම්බොජඟ වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ සත්බොජඟ වඩයි, සත්බොජඟ බහුල කෙරේ යි.
2. 5. 10.
දුතිය අඞ්ග සූත්රය
596. මහණෙනි, මේ කල්යාණමිත්රත්වය යම්බඳු නම් මහණෙනි, සත්බොජඟ ඉපදීම පිණිස බාහිර වූ අවයවයක් කොට අන් එක් දහමකුදු නො ම දකිමි. මහණෙනි, සත්බොජඟ වඩන්නේය, සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සිහිසම්බොජඟ වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ මෙසේ සත්බොජඟ වඩයි, සත්බොජඟ බහුල කෙරේ යි.
පස්වැනි චක්කවත්ති වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
විධා, චක්කවත්ති, මාර, දුප්පඤ්ඤ, පඤ්ඤව, දළිද්ද, අදළිද්ද, ආදිච්ච සූත්ර අටෙකි. අඞ්ග සූත්ර දෙකෙකි. ඔහු (මුළුල්ල) දශයෙකි යි.