2. 4. 9.
මහාරුක්ඛ සූත්රය
585. මහණෙනි, ගස් මැඩගෙන වැඩුණු වෘක්ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනා ලද්දෝ සරස වැටී හොවිද් ද, බීජයෙහි පටන් ක්රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩගෙන වැඩෙන එබඳු මහගස් ඇත. මහණෙනි, ගස් මැඩගෙන වැඩෙන වෘක්ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනාලද්දෝ සරස වැටී හොවිත් නම් බීජයෙහි පටන් ක්රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩ ගෙන වැඩුණු ඒ මහාවෘක්ෂයෝ කවරහු ද ඒ මෙසේ යි: ඇසතු, නුග, පුලිල, දිඹුල්, ඇටකසුක්, ගිවුළු යන මොහු යි. මහණෙනි, ගස් මැඩගෙන වැඩෙන වෘක්ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනා ලද්දෝ සරස වැටී හොවිත් නම් බීජයෙහි පටන් ක්රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩගෙන වැඩෙන මහාවෘක්ෂයෝ මොහු යි.
මහණෙනි, එ සෙයින් ම මෙහි ඇතැම් කුලපුත්රයෙක් යම්බඳු කාමයන් හැරදමා ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වූයේ වේ ද, හෙතෙමේ එබඳු වූ කාමයන්ගෙන් හෝ එයිනුදු ඉතා පවිටු වූ කාමයන් ගෙන් හෝ හාත්පස බිඳුනා ලද්දේ සරසට (-අපායට) වැටී හොවී.
මහණෙනි, මේ පස්දෙනෙක් අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත යටපත් කරන්නෝ ය, නුවණ දුබල කරන්නෝ ය. කවර පසෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්දය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ව්යාපාදය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ථීනමිද්ධය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, විචිකිච්ඡාව අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, මොහු පස් දෙන අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත යටපත් කරන්නෝ ය, නුවණ දුබල කරන්නෝ ය.
මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝ ය. නො වසන්නෝ ය. සිත යටපත් නො කරන්නෝ ය, වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි, නො වසන්නෙකි, සිත යටපත් නො කරන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී … මහණෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි, නො වසන්නෙකි, සිත යටපත් නො කරන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝ ය, නො වසන්නෝ ය, සිත යටපත් නො කරන්නෝ ය, වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත් යි.
2. 4. 10.
නීවරණ සූත්රය
586. මහණෙනි, මේ පස්නීවරණ කෙනෙක් අඳබව කරන්නෝ ය. නුවණැස නො කරන්නෝ ය. මෝහය කරන්නෝ ය. නුවණ වළකන්නෝ ය. දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස නො පවත්නෝ ය. කවර පසෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්දනීවරණය අඳබව කරන්නෙකි. නුවණැස නො කරන්නෙකි. මෝහය කරන්නෙකි. නුවණ වළකන්නෙකි. දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස නො පවත්නෙකි. මහණෙනි, ව්යාපාද නීවරණය … මහණෙනි, ථීනමිද්ධනීවරණය … මහණෙනි, උද්ධච්චකුක්කුච්චනීවරණය … මහණෙනි, විචිකිච්ඡානීවරණය අඳබව කරන්නෙකි. නුවණැස නො කරන්නෙකි. මෝහය කරන්නෙකි. නුවණ වළකන්නෙකි. දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස නො පවත්නෙකි. මහණෙනි, මේ පස් නීවරණයෝ අඳබව කරන්නෝ ය. නුවණැස නො කරන්නෝ ය. මෝහය කරන්නෝ ය. නුවණ වළකන්නෝ ය. දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස නො පවත්නෝ ය.
මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නුවණැස කරන්නෝ ය. නුවණ කරන්නෝ ය. නුවණ වැඩීම පිණිස වූවෝ ය. නොදුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස පවත්නෝ ය. කවර සතෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගය නුවණැස කරන්නෙකි. නුවණ කරන්නෙකි. නුවණ වැඩීම පිණිස වූවෙකි. නො දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස පවත්නෙකි … මහණෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය නුවණැස කරන්නෙකි. නුවණ කරන්නෙකි. නුවණ වැඩීම පිණිස වූවෙකි. නොදුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස පවත්නෙකි. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නුවණැස කරන්නෝ ය. නුවණ කරන්නෝ ය. නුවණ වැඩීම පිණිස වූවෝ ය. නො දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස පවත්නෝ යි.
සිවුවැනි නීවරණ වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
කුසල සූත්ර දෙක ද, කිලේස, අනාවරණ, යෝනිසෝ, බුද්ධි, ආවරණ, අනීවරණ, මහාරුක්ඛ, නීවරණ යන අට දැ යි දශ සූත්ර කෙනෙකි යි.