2. 4. 10.
නීවරණ සූත්රය
586. මහණෙනි, මේ පස්නීවරණ කෙනෙක් අඳබව කරන්නෝ ය. නුවණැස නො කරන්නෝ ය. මෝහය කරන්නෝ ය. නුවණ වළකන්නෝ ය. දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස නො පවත්නෝ ය. කවර පසෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්දනීවරණය අඳබව කරන්නෙකි. නුවණැස නො කරන්නෙකි. මෝහය කරන්නෙකි. නුවණ වළකන්නෙකි. දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස නො පවත්නෙකි. මහණෙනි, ව්යාපාද නීවරණය … මහණෙනි, ථීනමිද්ධනීවරණය … මහණෙනි, උද්ධච්චකුක්කුච්චනීවරණය … මහණෙනි, විචිකිච්ඡානීවරණය අඳබව කරන්නෙකි. නුවණැස නො කරන්නෙකි. මෝහය කරන්නෙකි. නුවණ වළකන්නෙකි. දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස නො පවත්නෙකි. මහණෙනි, මේ පස් නීවරණයෝ අඳබව කරන්නෝ ය. නුවණැස නො කරන්නෝ ය. මෝහය කරන්නෝ ය. නුවණ වළකන්නෝ ය. දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස නො පවත්නෝ ය.
මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නුවණැස කරන්නෝ ය. නුවණ කරන්නෝ ය. නුවණ වැඩීම පිණිස වූවෝ ය. නොදුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස පවත්නෝ ය. කවර සතෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගය නුවණැස කරන්නෙකි. නුවණ කරන්නෙකි. නුවණ වැඩීම පිණිස වූවෙකි. නො දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස පවත්නෙකි … මහණෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය නුවණැස කරන්නෙකි. නුවණ කරන්නෙකි. නුවණ වැඩීම පිණිස වූවෙකි. නොදුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස පවත්නෙකි. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නුවණැස කරන්නෝ ය. නුවණ කරන්නෝ ය. නුවණ වැඩීම පිණිස වූවෝ ය. නො දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස පවත්නෝ යි.
සිවුවැනි නීවරණ වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
කුසල සූත්ර දෙක ද, කිලේස, අනාවරණ, යෝනිසෝ, බුද්ධි, ආවරණ, අනීවරණ, මහාරුක්ඛ, නීවරණ යන අට දැ යි දශ සූත්ර කෙනෙකි යි.
5. චක්කවත්ති වර්ගය
2. 5. 1.
විධා සූත්රය
587. මහණෙනි, ඉකුත්කල යම්කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ ත්රිවිධ මානය හළාහු ද, ඒ සියල්ලෝ සත්බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් ත්රිවිධ මානය හළහ. මහණෙනි, මතුකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ත්රිවිධ මානය දුරු කරන්නාහු ද ඒ සියල්ලෝ සත්බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් ත්රිවිධ මානය දුරුකරන්නාහ. මහණෙනි, මෙකල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ත්රිවිධ මානය දුරු කෙරෙද් ද ඒ සියල්ලෝ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් දුරු කෙරෙති. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, ඉකුත්කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ත්රිවිධ මානය දුරු කළාහු ද ... දුරු කරන්නාහු ද … දුරු කෙරෙද් ද ඒ සියල්ලෝ මේ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් ත්රිවිධ මානය දුරු කෙරෙති.
2. 5. 2.
චක්කවත්ති සූත්රය
588. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් සත්රුවනෙක පහළවීම වේ. කවර සතෙක් ද යත්: සක්රුවනෙහි පහළ වීම වේ. ඇත්රුවනෙහි පහළවීම වේ. අස්රුවනෙහි පහළවීම වේ. මිණිරුවනෙහි පහළවීම වේ. ඉතිරි රුවනෙහි පහළවීම වේ. ගැහැවිරුවනෙහි පහළ වීම වේ. පුත් රුවනෙහි පහළවීම වේ. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් මේ සත් රුවනුන්ගේ පහළවීම වේ. මහණෙනි, තථාගත අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් සත් බොජඟරුවනුන්ගේ පහළවීම වේ. කවර සතෙක යත්: සිහිසම්බොජඟරුවනෙහි පහළවීම වේ ... උපේසම්බොජඟරුවනෙහි පහළවීම වේ. මහණෙනි, තථාගත අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් මේ සත්බොජඟරුවනුන්ගේ පහළවීම වේ යි
2. 5. 3.
මාර සූත්රය
589. මහණෙනි, මරසෙන් මඩින මඟ තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මරසෙන් මඩින මග කවරේ ද යත්: මේ සත්බොජඟ යි. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, මේ මරසෙන් මඩින මඟ යි.