2. 4. 6.
බුද්ධි සූත්‍රය
582. මහණෙනි, මේ සත්බොජඟ කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු බුද්ධිය නො පිරිහීම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: සතිසම්බොජඟ … උපේසම්බොජඟ යී. මහණෙනි, මේ සත්බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු බුද්ධිය නො පිරිහීම පිණිස පවතිත් යි.
2. 4. 7.
ආවරණ සූත්‍රය
583. මහණෙනි, මේ අවුරන්නෝ වසන්නෝ සිත කෙලෙසන්නෝ නුවණ දුබල කරන්නෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්‍දය (කුසල්සිත) අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ව්‍යාපාදය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ථීනමිද්ධය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, විචිකිච්ඡාව අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, මේ පස අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත කෙලෙසන්නෝ ය, නුවණ දුබල කරන්නෝ යි.
2. 4. 8.
අනීවරණ සූත්‍රය
584. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ බලාපොරොත්තු සහිත ව මෙනෙහි කොට මුළුහිතින් මෙහෙයා යොමු කළ කන් ඇති ව දහම් අසා ද එසමයෙහි ඔහුට පඤ්චනීවරණයෝ නො වෙත්. එසමෙයෙහි සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙත්. කවර පඤ්චනීවරණයෝ එසමයෙහි ඔහුට නො වෙද් ද කාමච්ඡන්‍දනීවරණය එසමයෙහි ඔහුට නො වේ. ව්‍යාපාද නීවරණය … ථීනමිද්ධනීවරණය … උද්ධච්චකුක්කුච්චනීවරණය … විචිකිච්ඡානීවරණය එසමයෙහි ඔහුට නො වේ. මේ පස් නීවරණයෝ එසමයෙහි ඔහුට නො වෙත්.
එසමයෙහි ඔහුගේ කවර සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙද්ද: සතිසම්බොජ්ඣඞ්ගය එසමයෙහි වැඩීමෙන් පිරීමට යේ … උපේඛාසම්බොජ්ඣඞ්ගය එසමයෙහි වැඩීමෙන් පිරීමට යේ. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ අර්ත්‍ථී ව මෙනෙහි කොට මුළුසිතින් මෙහෙයා යොමු කළ කන් ඇති ව දහම් අසා ද එසමයෙහි මේ පස් නීවරණයෝ ඔහුට නො වෙත්. එසමෙයෙහි මේ සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙති යි.