2. 4. 7.
ආවරණ සූත්‍රය
583. මහණෙනි, මේ අවුරන්නෝ වසන්නෝ සිත කෙලෙසන්නෝ නුවණ දුබල කරන්නෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්‍දය (කුසල්සිත) අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ව්‍යාපාදය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ථීනමිද්ධය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, විචිකිච්ඡාව අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, මේ පස අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත කෙලෙසන්නෝ ය, නුවණ දුබල කරන්නෝ යි.
2. 4. 8.
අනීවරණ සූත්‍රය
584. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ බලාපොරොත්තු සහිත ව මෙනෙහි කොට මුළුහිතින් මෙහෙයා යොමු කළ කන් ඇති ව දහම් අසා ද එසමයෙහි ඔහුට පඤ්චනීවරණයෝ නො වෙත්. එසමෙයෙහි සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙත්. කවර පඤ්චනීවරණයෝ එසමයෙහි ඔහුට නො වෙද් ද කාමච්ඡන්‍දනීවරණය එසමයෙහි ඔහුට නො වේ. ව්‍යාපාද නීවරණය … ථීනමිද්ධනීවරණය … උද්ධච්චකුක්කුච්චනීවරණය … විචිකිච්ඡානීවරණය එසමයෙහි ඔහුට නො වේ. මේ පස් නීවරණයෝ එසමයෙහි ඔහුට නො වෙත්.
එසමයෙහි ඔහුගේ කවර සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙද්ද: සතිසම්බොජ්ඣඞ්ගය එසමයෙහි වැඩීමෙන් පිරීමට යේ … උපේඛාසම්බොජ්ඣඞ්ගය එසමයෙහි වැඩීමෙන් පිරීමට යේ. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ අර්ත්‍ථී ව මෙනෙහි කොට මුළුසිතින් මෙහෙයා යොමු කළ කන් ඇති ව දහම් අසා ද එසමයෙහි මේ පස් නීවරණයෝ ඔහුට නො වෙත්. එසමෙයෙහි මේ සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙති යි.
2. 4. 9.
මහාරුක්ඛ සූත්‍රය
585. මහණෙනි, ගස් මැඩගෙන වැඩුණු වෘක්‍ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනා ලද්දෝ සරස වැටී හොවිද් ද, බීජයෙහි පටන් ක්‍රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩගෙන වැඩෙන එබඳු මහගස් ඇත. මහණෙනි, ගස් මැඩගෙන වැඩෙන වෘක්‍ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනාලද්දෝ සරස වැටී හොවිත් නම් බීජයෙහි පටන් ක්‍රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩ ගෙන වැඩුණු ඒ මහාවෘක්‍ෂයෝ කවරහු ද ඒ මෙසේ යි: ඇසතු, නුග, පුලිල, දිඹුල්, ඇටකසුක්, ගිවුළු යන මොහු යි. මහණෙනි, ගස් මැඩගෙන වැඩෙන වෘක්‍ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනා ලද්දෝ සරස වැටී හොවිත් නම් බීජයෙහි පටන් ක්‍රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩගෙන වැඩෙන මහාවෘක්‍ෂයෝ මොහු යි.
මහණෙනි, එ සෙයින් ම මෙහි ඇතැම් කුලපුත්‍රයෙක් යම්බඳු කාමයන් හැරදමා ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වූයේ වේ ද, හෙතෙමේ එබඳු වූ කාමයන්ගෙන් හෝ එයිනුදු ඉතා පවිටු වූ කාමයන් ගෙන් හෝ හාත්පස බිඳුනා ලද්දේ සරසට (-අපායට) වැටී හොවී.
මහණෙනි, මේ පස්දෙනෙක් අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත යටපත් කරන්නෝ ය, නුවණ දුබල කරන්නෝ ය. කවර පසෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්‍දය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ව්‍යාපාදය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ථීනමිද්ධය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, විචිකිච්ඡාව අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, මොහු පස් දෙන අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත යටපත් කරන්නෝ ය, නුවණ දුබල කරන්නෝ ය.
මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝ ය. නො වසන්නෝ ය. සිත යටපත් නො කරන්නෝ ය, වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි, නො වසන්නෙකි, සිත යටපත් නො කරන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී … මහණෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි, නො වසන්නෙකි, සිත යටපත් නො කරන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝ ය, නො වසන්නෝ ය, සිත යටපත් නො කරන්නෝ ය, වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත් යි.