2. 3. 7.
නිරෝධ සූත්‍රය
573. මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් තෘෂ්ණානිරෝධය පිණිස පවතී නම් ඒ මඟ ඒ පිළිවෙත වඩවු. මහණෙනි, කවර මඟෙක් කවර පිළිවෙතෙක් තෘෂ්ණානිරෝධය පිණිස පවතී ද? මේ සත් බොජ්ඣඞ්ගයෝ යි, කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ග ය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි.මහණෙනි, සත් බොජ්ඣඞ්ගයෝ කෙසේ වඩන ලද්දාහු කෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණානිරෝධය පිණිස පවතිත් ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, සත් බොජ්ඣඞ්ගයෝ මෙසේ වඩන ලද්දාහු මෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණානිරෝධය පිණිස පවතිත් යි.
2. 3. 8.
නිබ්බේධ සූත්‍රය
574. මහණෙනි, නිබ්බේධභාගිය (කෙලෙස් නැසීමට හිත) මාර්‍ගය තොපට දේශනා කරන්නෙමි, එය අසවු. මහණෙනි, නිබ්බේධභාගිය මාර්‍ගය කවරේ ද: මේ සත් බොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ග ය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය. “වහන්ස, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ කෙලෙස් නැසීම පිණිස පවතිද් දැ යි.”
උදායි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සතිසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අඛ්‍යාපජ්ඣ කොට වඩයි. හෙතෙමේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් නොනැසුවිරූ නොපැලුවිරූ ලෝභසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ ද්වේෂසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ මෝහසමුහය නසයි, පලයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත උපේඛාසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අඛ්‍යාපජ්ඣ කොට වඩයි. හෙතෙමේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් නොනැසුවිරූ නොපැලුවිරූ ලෝභසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ ද්වේෂ සමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ මෝහසමූහය නසයි, පලයි. උදායි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ කෙලෙස් නැසීම පිණිස පවතිත් යි.
2. 3. 9.
ඒකධම්ම සූත්‍රය
575. මහණෙනි, යම් දහම් කෙනෙක් මෙසේ වඩන ලදහු මෙසේ බහුල කරනු ලදහු සංයෝජනයන්ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතිද්ද මහණෙනි, මේ සත්බොජඟ යම්බඳු නම් එබඳු එක් දහමකු දු මම නො ම දකිමි. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සත්බොජඟ සංයෝජනයන් ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජඟ සංයෝජනයන් ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතී. මහණෙනි, සංයෝජනයන් ට කරුණු වූ දහම් කවරහු ද යත්: මහණෙනි, ඇස සංයෝජනයන් ට කරුණු වූ දහමෙකි. මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ ... දිව සංයෝජනයන්ට කරුණු වූ දහමෙකි. මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ ... සිත සංයෝජනයන්ට කරුණු වූ දහමෙකි.මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ. මහණෙනි, මොහු සංයෝජනයන්ට කරුණු වූ දහම්හු යි කියනු ලැබෙත් යි.