2. 3. 8.
නිබ්බේධ සූත්‍රය
574. මහණෙනි, නිබ්බේධභාගිය (කෙලෙස් නැසීමට හිත) මාර්‍ගය තොපට දේශනා කරන්නෙමි, එය අසවු. මහණෙනි, නිබ්බේධභාගිය මාර්‍ගය කවරේ ද: මේ සත් බොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ග ය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය. “වහන්ස, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ කෙලෙස් නැසීම පිණිස පවතිද් දැ යි.”
උදායි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සතිසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අඛ්‍යාපජ්ඣ කොට වඩයි. හෙතෙමේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් නොනැසුවිරූ නොපැලුවිරූ ලෝභසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ ද්වේෂසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ මෝහසමුහය නසයි, පලයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත උපේඛාසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අඛ්‍යාපජ්ඣ කොට වඩයි. හෙතෙමේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් නොනැසුවිරූ නොපැලුවිරූ ලෝභසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ ද්වේෂ සමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ මෝහසමූහය නසයි, පලයි. උදායි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ කෙලෙස් නැසීම පිණිස පවතිත් යි.
2. 3. 9.
ඒකධම්ම සූත්‍රය
575. මහණෙනි, යම් දහම් කෙනෙක් මෙසේ වඩන ලදහු මෙසේ බහුල කරනු ලදහු සංයෝජනයන්ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතිද්ද මහණෙනි, මේ සත්බොජඟ යම්බඳු නම් එබඳු එක් දහමකු දු මම නො ම දකිමි. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සත්බොජඟ සංයෝජනයන් ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජඟ සංයෝජනයන් ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතී. මහණෙනි, සංයෝජනයන් ට කරුණු වූ දහම් කවරහු ද යත්: මහණෙනි, ඇස සංයෝජනයන් ට කරුණු වූ දහමෙකි. මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ ... දිව සංයෝජනයන්ට කරුණු වූ දහමෙකි. මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ ... සිත සංයෝජනයන්ට කරුණු වූ දහමෙකි.මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ. මහණෙනි, මොහු සංයෝජනයන්ට කරුණු වූ දහම්හු යි කියනු ලැබෙත් යි.
2. 3. 10.
උදායි සූත්‍රය
576. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සුමන දනව්වෙහි ශෙවතක නම් සුම්හයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ආයුෂ්මත් උදායී ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, අසිරියෙකි. වහන්ස, පුදුමයෙකි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වූ මාගේ ප්‍රේමයත් ගෞරවයත් හිරිඔතප් දෙකත් කෙතෙක් බුහුමන් කරන ලද ද, වහන්ස, මම පෙර ගිහි වූයෙම් ම දහමින් බුහුමන් නො කරන ලද්දෙම් වීමි. සඟන විසින් බුහුමන් නො කරන ලද්දෙම් වීමි. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයත් ගෞරවයත් හිරිඔතප් දෙකත් දකිමින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ “රූපය මෙසේ ය, රූපයේ හටගැන්ම මෙසේ ය, රූපයේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනාව මෙසේ ය ... සංඥාව මෙසේ ය ... සංස්කාරයෝ මෙසේ ය ... විඥානය මෙසේ ය ... විඥානයේ හටගැන්ම මෙසේ ය ... විඥානයේ අස්තඞ්ගමය මෙසේ ය යි දහම් දෙසූ සේක.
වහන්ස, ඒ මම් ශුන්‍යාගාරයට ගියෙම් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදයව්‍යය සම්මර්‍ශන කෙරෙමින් මේ (පඤ්චස්කන්‍ධය) දුක’යි තතුසේ දැනැගතිමි. මේ (තෘෂ්ණාසමුදය) දුඃඛසමුදයැ”යි තතු සේ දැනැ ගතිමි. මේ (තෘෂ්ණානිරෝධය) දුඃඛනිරෝධැයැ’යි තතුසේ දැනැ ගතිමි. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය) දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ’ යි තතුසේ දැනැගතිමි. වහන්ස, මා විසින් (විදර්‍ශනා) ධර්‍ම ද අවබෝධ කරන ලද යැ. (විදර්‍ශනා) මාර්‍ගය ද ලබන ලදි. මා විසින් යම් ධර්‍ම මාර්‍ගයෙක් භාවිත බහුලීකෘත වේ ද (හෙ) ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මෙ අත්බව පිණිස අන් කිසෙක් නැති” යි මම දනිම් නම් තථාභාවයට පමුණුවන්නේ යැ: වහන්ස, මා විසින් ස්මෘතිසම්බොධ්‍යඞ්ග ලබන ලද යැ. යම් බෝධ්‍යඞ්ගයෙක් මා විසින් භාවිත බහුලීකෘත වූයේ ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාති ක්‍ෂය විය. මඟබඹසර වැසැ නිමවන ලද, කරණී කරනලද, මෙ අත්බව පිණිස අන් කිසෙක් නැති”යි මම දනිම් නම් තථාභාවයට පමුණු වන්නේ යැ. … වහන්ස, මා විසින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග ලබන ලද. යම් බෝධ්‍යඞ්ගයෙක් මා විසින් භාවිත බහුලීකෘත වූයේ ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වැසැ නිමවන ලද, කරණී කරන ලද, මෙ අත්බවට අන් කිසෙක් නැති”යි මම දනිම් නම් තථාභාවයට පමුණුවන්නේ යැ. වහන්ස, මා විසින් මේ මාර්‍ගය ලබන ලද. මා විසින් යම් මාර්‍ගයෙක් භාවිත බහුලීකෘත වූයේ ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාති ක්‍ෂය විය. මඟබඹසර වැසැ නිමවන ලද, කරණී කරන ලද මෙ අත්බවට අන් කිසෙක් නැතැ” යි මම දනිම් නම් තථාභාවයට පමුණු වන්නේ යැ” යි.