2. 2. 7.
අපාර සූත්‍රය
563. මහණෙනි, මේ සත් බොජඟ කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය … උපේඛාබොජ්ඣඞ්ග යි. මහණෙනි, මේ සත්බොජඟ දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිති යි. මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ:
1. “යම් ජනකෙනෙක් පරතෙරට යනසුලු වෙද්ද මිනිසුන් අතර ඔහු අල්පය. වැඩි මේ ඉතිරි ප්‍රජාව ඉවුර අනුවම (-සසරෙහිම) දුවයි.
2. යම් කෙනෙකුත් මොනවට වදහළ දහම්හි දහම් අනුව පවතිනසුලු වෙද්ද ඒ ජනයෝ සුදුස්තර වූ මාරධෙයය (-සසර) හැර පරතෙරට යන්නාහ.
3-4. පණ්ඩිත තෙමේ අකුසල් දහම් දුරු කොට කුසල් දහම් වඩන්නේ ය. නිවන ඇරබ සසරින් කාමයන් අත්හැර පලිබෝධ නැති ව යම් විවේකයෙක දුෂ්කරසේ ඇලිය යුතු නම් එහි ඇලීම කැමති වන්නේ ය. පණ්ඩිත තෙමේ කෙලෙසුන්ගෙන් සිත පිරිසිදු කරන්නේ ය.
5. යම් කෙනෙකුන්ගේ සිත බොජ්ඣඞ්ගයන්හි මැනැවින් වඩන ලද ද, යම් කෙනෙක් උපාදාන රහිත ව නිවනෙහි ඇලුණාහු ද ලොව්හි බැබළීම් ඇති ඒ රහත්හු පිරිනිවියාහු යි.
2. 2. 8.
ආරද්ධ සූත්‍රය
564. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සත් බොජ්ඣඞ්ගයෝ වරදනලද නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය වරදන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සත් බොජ්ඣඞ්ගයෝ අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය අරඹන ලද්දේ ය. කවර සතෙක් ද? යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සත් බොජ්ඣඞ්ගයෝ වරදන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය වරදන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සත් බොජ්ඣඞ්ගයෝ අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය අරඹන ලද්දේ යි.
2. 2. 9.
අරිය සූත්‍රය
565. මහණෙනි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ (නිවන කරා පමුණුවන) මේ සත් බොජඟ කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනුව පිළිපදින්නහු මැනවින් දුක් ගෙවීමට පමුණුවත්. කවර සතෙක් ද යත්: සිහිබොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනුව පිළිපදින්නහු මැනවින් දුක් ගෙවීමට පමුණුවති යි.
2. 2. 10.
නිබ්බිදා සූත්‍රය
566. මහණෙනි, මේ සත්බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස විශිෂ්ට ඥානය පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්. කවර සතෙක්ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය … උපේඛාසම්බොජ්ඣඞ්ගයයි. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස විශිෂ්ට ඥානය පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවතිත් යි.
දෙවෙනි ගිලානවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පාණසූත්‍රය ද සුරියූපම සූත්‍ර දෙක ද අනෙක් ගිලාන සූත්‍ර තුන ද අපාර, ආරද්ධ, අරිය, නිබ්බිදා සූත්‍ර සතර දැ යි දශ සූත්‍ර කෙනෙකි යි.