2. 2. 8.
ආරද්ධ සූත්රය
564. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සත් බොජ්ඣඞ්ගයෝ වරදනලද නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්ය්යමාර්ගය වරදන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සත් බොජ්ඣඞ්ගයෝ අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්ය්යමාර්ගය අරඹන ලද්දේ ය. කවර සතෙක් ද? යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සත් බොජ්ඣඞ්ගයෝ වරදන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්ය්යමාර්ගය වරදන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සත් බොජ්ඣඞ්ගයෝ අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්ය්යමාර්ගය අරඹන ලද්දේ යි.
2. 2. 9.
අරිය සූත්රය
565. මහණෙනි, ආර්ය වූ නෛර්ය්යාණික වූ (නිවන කරා පමුණුවන) මේ සත් බොජඟ කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනුව පිළිපදින්නහු මැනවින් දුක් ගෙවීමට පමුණුවත්. කවර සතෙක් ද යත්: සිහිබොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, ආර්ය වූ නෛර්ය්යාණික වූ මේ සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනුව පිළිපදින්නහු මැනවින් දුක් ගෙවීමට පමුණුවති යි.
2. 2. 10.
නිබ්බිදා සූත්රය
566. මහණෙනි, මේ සත්බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්යුපශමය පිණිස විශිෂ්ට ඥානය පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවතිත්. කවර සතෙක්ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය … උපේඛාසම්බොජ්ඣඞ්ගයයි. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්යුපශමය පිණිස විශිෂ්ට ඥානය පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවතිත් යි.
දෙවෙනි ගිලානවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
පාණසූත්රය ද සුරියූපම සූත්ර දෙක ද අනෙක් ගිලාන සූත්ර තුන ද අපාර, ආරද්ධ, අරිය, නිබ්බිදා සූත්ර සතර දැ යි දශ සූත්ර කෙනෙකි යි.
3. උදායි වර්ගය
2. 3. 1.
බෝධාය සූත්රය
567. ඉක්බිති එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, බොජ්ඣඞ්ගයෝ යැ බොජ්ඣඞ්ගයෝයැ යි කියනු ලැබෙත්. වහන්ස, කෙතෙකින් බොජ්ඣඞ්ගයෝ යි කියනු ලැබෙද්දැ” යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි. එහෙයින් බොජ්ඣඞ්ගයෝ යි කියනු ලැබෙත්. මහණ, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සතිසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට වඩ යි … උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩ යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි. එහෙයින් බොජ්ඣඞ්ගයෝ යි කියනු ලැබෙති යි.
2. 3. 2.
දේසනා සූත්රය
568. මහණෙනි, මේ සත් බොජඟ දේශනා කරමි. එය අසව. මහණෙනි, සත් බොජඟහු කවරහු ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණෙනි, මොහු සත් බොජඟ යි.
2. 3. 3.
ඨානි සූත්රය
569. මහණෙනි, කාමරාගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් කාමච්ඡන්දයත් උපදී. උපන් කාමච්ඡන්දයත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. මහණෙනි, ව්යාපාදයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් ව්යාපාදයත් උපදී. උපන් ව්යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. මහණෙනි, ථීනමිද්ධයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. මහණෙනි, උද්ධච්චකුක්කුච්චයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.