2. 2. 4.
ගිලාන සූත්‍රය
560. මවිසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ඇවැත් මහසුප් තෙරණුවෝ රෝගී ව දුකට පැමිණ දැඩිගිලන් ව පිප්ඵලිගුහාවෙහි වැඩවෙසෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටිසේක් ඇවැත් මහසුප් තෙරණුවන් වෙත එළඹිසේක. එළඹ පැනවූ අසුන්හි වැඩහුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඇවත් මහසුප් තෙරණුවනට මෙය වදාළසේක: “කස්සපයෙනි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද් ද? වැඩි නො වෙද් ද? මොවුන් ගේ අඩුවීමෙක් පෙනේ ද? වැඩිවීමෙක් නො පෙනේ දැ?” යි. “වහන්ස, මට ඉවසිය නො හැකි ය, යැපිය නො හැකිය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්, අඩු නො වෙත්, ඔවුන්ගේ වැඩි වීම පෙනේ. අඩු වීම නො පෙනේ” යි.
කස්සපයෙනි, මේ සත් බොජඟ කෙනෙක් මවිසින් මැනෙවින් පවසන ලදහු වඩන ලදහු බහුල කරන ලදහු වෙසෙසින් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද? යත්: කස්සපයෙනි, සතිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනෙවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, ධම්මවිජයසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, විරියසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ, බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, පීතිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනෙවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, සමාධිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය, මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ මවිසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්.” යි.
“භාග්‍යවතුන් වහන්ස, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තයහ. සුගතයන් වහන්ස, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තයහ” යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඇවැත් මහසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව සතුටින් පිළිගත්හ. ඇවැත් මහසුප් තෙරණුවෝ ඒ ආබාධයෙන් ද නැගී සිටියහ. ඇවැත් මහසුප් තෙරණුවන්ගේ ඒ ආබාධය එසේ පහවූයේ ම විය.
2. 2. 5.
දුතිය ගිලාන සූත්‍රය
561. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ රෝගී ව හටගත් දුක් ඇති ව දැඩි ගිලන් ව ගිජිකුළුපව්වෙහි වැඩවෙසෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටිසේක් ආයුෂ්මත් මහමුගලන් තෙරණුන් වෙත එළඹි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවනට මෙය වදාළ සේක. “මොග්ගල්ලානයෙනි, කිම තොපට ඉවසිය හැකි ද? කීම? යැපිය හැකි ද? කිම දුක්වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද්ද? මොවුන්ගේ අඩුවීම පෙනේ ද? වැඩිවීමෙක් නො පෙනේ ද?” යි. “වහන්ස, මට ඉවසිය නො හැක්ක. යැපිය නො හැක්ක. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්. අඩු නො වෙත්. මොවුන්ගේ වැඩිවීම පෙනේ. අඩුවීමෙක් නො පෙනේ” යි.
“මොග්ගල්ලානයෙනි, මේ සත් බොජඟ කෙනෙක් මවිසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මුගලන, සිහිසම්බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී ... මුගලන, උපේසම්බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. මුගලන, මේ සත් බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී” යි.
“භාග්‍යවතුන් වහන්ස, සත් බොජඟ ඒකාන්තය, සුගතයන් වහන්ස, සත් බොජඟ ඒකාන්ත ය” යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඇවැත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. ඇවැත් මහමුගලන් තෙරණුවෝ ද ඒ ආබාධයෙන් නැගී සිටියහ. ඇවැත් මහමුගලන් තෙරණුවන් ගේ ඒ ආබාධය එසේ පහවූයේ ම වී ය.
2. 2. 6.
තතිය ගිලාන සූත්‍රය
562. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ හටගත් ආබාධ ඇතිසේක් දුක් ඇතිසේක් දැඩි ගිලන් වූ සේක් වෙති. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: