2. 2. 5.
දුතිය ගිලාන සූත්රය
561. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ රෝගී ව හටගත් දුක් ඇති ව දැඩි ගිලන් ව ගිජිකුළුපව්වෙහි වැඩවෙසෙති. එකල්හි භාග්යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටිසේක් ආයුෂ්මත් මහමුගලන් තෙරණුන් වෙත එළඹි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවනට මෙය වදාළ සේක. “මොග්ගල්ලානයෙනි, කිම තොපට ඉවසිය හැකි ද? කීම? යැපිය හැකි ද? කිම දුක්වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද්ද? මොවුන්ගේ අඩුවීම පෙනේ ද? වැඩිවීමෙක් නො පෙනේ ද?” යි. “වහන්ස, මට ඉවසිය නො හැක්ක. යැපිය නො හැක්ක. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්. අඩු නො වෙත්. මොවුන්ගේ වැඩිවීම පෙනේ. අඩුවීමෙක් නො පෙනේ” යි.
“මොග්ගල්ලානයෙනි, මේ සත් බොජඟ කෙනෙක් මවිසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මුගලන, සිහිසම්බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී ... මුගලන, උපේසම්බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. මුගලන, මේ සත් බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී” යි.
“භාග්යවතුන් වහන්ස, සත් බොජඟ ඒකාන්තය, සුගතයන් වහන්ස, සත් බොජඟ ඒකාන්ත ය” යි.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඇවැත් මහමුගලන් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. ඇවැත් මහමුගලන් තෙරණුවෝ ද ඒ ආබාධයෙන් නැගී සිටියහ. ඇවැත් මහමුගලන් තෙරණුවන් ගේ ඒ ආබාධය එසේ පහවූයේ ම වී ය.
2. 2. 6.
තතිය ගිලාන සූත්රය
562. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්යවතුන් වහන්සේ හටගත් ආබාධ ඇතිසේක් දුක් ඇතිසේක් දැඩි ගිලන් වූ සේක් වෙති. එකල්හි ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවනට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“චුන්දයෙනි, තොපට බොජ්ඣඞ්ගයෝ වැටහෙත්වා” යි. “වහන්ස, මේ සත්තබොජ්ඣඞ්ග කෙනෙක් භාග්යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද? යත්: වහන්ස, සතිසම්බොජ්ඣඞ්ගය භාග්යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී ... වහන්ස, උපේඛාසම්බොජ්ඣඞ්ගය භාග්යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. වහන්ස, මේ සත් බොජ්ඣඞ්ගයෝ භාග්යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතිත්” යි.
“චුන්දයෙනි, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තහ. චුන්දයෙනි, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තහ” යි.
ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ මෙය වදාළහ: ශාස්තෲන් වහන්සේ පිළිගත්සෙක් වූහ. භාග්යවතුන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටි සේක. භාග්යවතුන් වහන්සේගේ ඒ ආබාධය එසේ පහවූයේ ම වී ය.
2. 2. 7.
අපාර සූත්රය
563. මහණෙනි, මේ සත් බොජඟ කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය … උපේඛාබොජ්ඣඞ්ග යි. මහණෙනි, මේ සත්බොජඟ දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිති යි. මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ:
1. “යම් ජනකෙනෙක් පරතෙරට යනසුලු වෙද්ද මිනිසුන් අතර ඔහු අල්පය. වැඩි මේ ඉතිරි ප්රජාව ඉවුර අනුවම (-සසරෙහිම) දුවයි.
2. යම් කෙනෙකුත් මොනවට වදහළ දහම්හි දහම් අනුව පවතිනසුලු වෙද්ද ඒ ජනයෝ සුදුස්තර වූ මාරධෙයය (-සසර) හැර පරතෙරට යන්නාහ.
3-4. පණ්ඩිත තෙමේ අකුසල් දහම් දුරු කොට කුසල් දහම් වඩන්නේ ය. නිවන ඇරබ සසරින් කාමයන් අත්හැර පලිබෝධ නැති ව යම් විවේකයෙක දුෂ්කරසේ ඇලිය යුතු නම් එහි ඇලීම කැමති වන්නේ ය. පණ්ඩිත තෙමේ කෙලෙසුන්ගෙන් සිත පිරිසිදු කරන්නේ ය.
5. යම් කෙනෙකුන්ගේ සිත බොජ්ඣඞ්ගයන්හි මැනැවින් වඩන ලද ද, යම් කෙනෙක් උපාදාන රහිත ව නිවනෙහි ඇලුණාහු ද ලොව්හි බැබළීම් ඇති ඒ රහත්හු පිරිනිවියාහු යි.