2. 2. 1.
පාන සූත්‍රය
557. මහණෙනි, යම් සේ යම් කිසි ප්‍රාණීහු කලෙක ගමන ද කලෙක සිටුම ද කලෙක හිඳුම ද කලෙක ශයනය දැ යි සිවු ඉරියවු කෙරෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා එසේ ඒ සිවු ඉරියවු කෙරෙති. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද? යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරුකළ නිවනට පිරිනැමුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙ යි.
2. 2. 2.
සුරිය සූත්‍රය
558. මහණෙනි, යම් මේ අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ කලණ මිතුරන් ඇති බවෙක් වේ ද, මහණහට සත් බොජඟ ඉපදීම පිණිස මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත් බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, කෙසේ නම් කලණ මිතුරන් ඇති මහණ තෙමේ සත් බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ කලණ මිතුරන් ඇති මහණ තෙමේ සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙයි.
2. 2. 3.
දුතිය සුරිය සූත්‍රය
559. මහණෙනි, යම් මේ අරුණ නැගීමෙක් වේ ද උදාවන හිරුට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ යෝනිසෝමනසිකාරයෙක් වේ ද, මහණහට සත් බොජඟ ඉපදීමට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත් බොජඟ වඩන්නේය, සත් බොජඟ බහුල කරන්නේ ය යන මෙය යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, කෙසේ නම් යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණ තෙමේ සත්බොජඟ වඩා ද සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙ මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි.මහණෙනි, යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණ තෙමේ මෙසේ සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරේ යි.
2. 2. 4.
ගිලාන සූත්‍රය
560. මවිසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ඇවැත් මහසුප් තෙරණුවෝ රෝගී ව දුකට පැමිණ දැඩිගිලන් ව පිප්ඵලිගුහාවෙහි වැඩවෙසෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටිසේක් ඇවැත් මහසුප් තෙරණුවන් වෙත එළඹිසේක. එළඹ පැනවූ අසුන්හි වැඩහුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඇවත් මහසුප් තෙරණුවනට මෙය වදාළසේක: “කස්සපයෙනි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද් ද? වැඩි නො වෙද් ද? මොවුන් ගේ අඩුවීමෙක් පෙනේ ද? වැඩිවීමෙක් නො පෙනේ දැ?” යි. “වහන්ස, මට ඉවසිය නො හැකි ය, යැපිය නො හැකිය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්, අඩු නො වෙත්, ඔවුන්ගේ වැඩි වීම පෙනේ. අඩු වීම නො පෙනේ” යි.
කස්සපයෙනි, මේ සත් බොජඟ කෙනෙක් මවිසින් මැනෙවින් පවසන ලදහු වඩන ලදහු බහුල කරන ලදහු වෙසෙසින් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද? යත්: කස්සපයෙනි, සතිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනෙවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, ධම්මවිජයසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, විරියසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ, බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, පීතිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනෙවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, සමාධිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය, මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ මවිසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්.” යි.
“භාග්‍යවතුන් වහන්ස, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තයහ. සුගතයන් වහන්ස, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තයහ” යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඇවැත් මහසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව සතුටින් පිළිගත්හ. ඇවැත් මහසුප් තෙරණුවෝ ඒ ආබාධයෙන් ද නැගී සිටියහ. ඇවැත් මහසුප් තෙරණුවන්ගේ ඒ ආබාධය එසේ පහවූයේ ම විය.