2. 1. 8.
උපවාන සූත්රය
554. එක් කලෙක ආයුෂ්මත් උපවාන තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් උපවාන තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් උපවාන තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව වැඩ හුන්හ. එකත්පස්ව වැඩ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් උපවාන තෙරණුවනට මෙය කීහ: “ඇවැත්නි උපවානයෙනි, මහණ තෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මා විසින් මොනවට අරඹන ලද සප්ත බොජ්ඣඞ්ගයෝ පහසු විහරණය පිණිස පවතිත් යි තෙමේම දැනගන්නේදැ?” යි.
ඇවැත්නි ශාරිපුත්රයෙනි, මහණ තෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන් “මෙසේ මා විසින් මොනවට අරඹන ලද සප්ත බොජ්ඣඞ්ගයෝ පහසු විහරණය පිණිස පවතිත්” යි තෙමේම දැනගන්නේය. ඇවැත්නි, මහණ තෙමේ සති සම්බොජ්ඣඞ්ගය අරඹනුයේ “මාගේ සිතද මැනවින් මිදුණේය. ථිනමිද්ධය ද මවිසින් සහමුලින්ම නසන ලද්දේය. උද්ධච්චකුක්කුච්චය ද මවිසින් මැනවින් දුරුකරන ලද්දේය. වීර්ය්යය ද මවිසින් අරඹන ලද්දේ නො ද සැඟවුණේ ය. අර්ත්ථවත් කොට (ප්රයෝජන සලකා) මෙනෙහි කරමි යි දැනගනී. ... ඇවැත්නි, මහණ තෙමේ උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය අරඹනුයේ “මාගේ සිතද මැනවින් මිදුණේය. ථිනමිද්ධය ද මවිසින් සහමුලින්ම නසන ලද්දේය. උද්ධච්චකුක්කුච්චය ද මවිසින් මැනවින් දුරුකරන ලද්දේ ය. වීර්ය්යය ද මා විසින් අරඹන ලද්දේ නො ද සැඟවුණේ ය. අර්ත්ථවත් කොට මෙනෙහි කරමි යි. ඇවැත්නි,සාරිපුත්තයෙනි, මහණ තෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මා විසින් මැනවින් අරඹන ලද සප්ත බොජ්ඣඞ්ගයෝ පහසු විහරණය පිණිස පවති යි මෙසේ දැනගන්නේ” යි.
2. 1. 9.
උප්පාද සූත්රය
555. මහණෙනි, මේ සප්ත බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයයි. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති.
2. 1. 10.
දුතිය උප්පාද සූත්රය
556. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු බුදුසසුනෙන් අන්තන්හි නූපදනාහු නූපදිති. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු බුදුසසුනෙන් අන්තන්හි නූපන්නාහු නූපදිති යි.
පළමුවැනි පබ්බතවර්ගයයි.
එහි සූත්රනාමාවලිය:
හිමවන්ත, කාය, සීල, වත්ථ, භික්ඛු, කුණ්ඩලී, කූටාගාර,උපවාන සූත්රය ,අනෙක් උප්පාදසූත්ර දෙක ය යි දශ සූත්ර කෙනෙකි.