2. 1. 9.
උප්පාද සූත්‍රය
555. මහණෙනි, මේ සප්ත බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයයි. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති.
2. 1. 10.
දුතිය උප්පාද සූත්‍රය
556. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු බුදුසසුනෙන් අන්තන්හි නූපදනාහු නූපදිති. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු බුදුසසුනෙන් අන්තන්හි නූපන්නාහු නූපදිති යි.
පළමුවැනි පබ්බතවර්‍ගයයි.
එහි සූත්‍රනාමාවලිය:
හිමවන්ත, කාය, සීල, වත්‍ථ, භික්ඛු, කුණ්ඩලී, කූටාගාර,උපවාන සූත්‍රය ,අනෙක් උප්පාදසූත්‍ර දෙක ය යි දශ සූත්‍ර කෙනෙකි.
2. ගිලාන වර්‍ගය
2. 2. 1.
පාන සූත්‍රය
557. මහණෙනි, යම් සේ යම් කිසි ප්‍රාණීහු කලෙක ගමන ද කලෙක සිටුම ද කලෙක හිඳුම ද කලෙක ශයනය දැ යි සිවු ඉරියවු කෙරෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා එසේ ඒ සිවු ඉරියවු කෙරෙති. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද? යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරුකළ නිවනට පිරිනැමුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙ යි.
2. 2. 2.
සුරිය සූත්‍රය
558. මහණෙනි, යම් මේ අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ කලණ මිතුරන් ඇති බවෙක් වේ ද, මහණහට සත් බොජඟ ඉපදීම පිණිස මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත් බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, කෙසේ නම් කලණ මිතුරන් ඇති මහණ තෙමේ සත් බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ කලණ මිතුරන් ඇති මහණ තෙමේ සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙයි.
2. 2. 3.
දුතිය සුරිය සූත්‍රය
559. මහණෙනි, යම් මේ අරුණ නැගීමෙක් වේ ද උදාවන හිරුට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ යෝනිසෝමනසිකාරයෙක් වේ ද, මහණහට සත් බොජඟ ඉපදීමට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත් බොජඟ වඩන්නේය, සත් බොජඟ බහුල කරන්නේ ය යන මෙය යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, කෙසේ නම් යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණ තෙමේ සත්බොජඟ වඩා ද සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙ මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි.මහණෙනි, යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණ තෙමේ මෙසේ සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරේ යි.