2. 1. 5.
භික්‍ෂූ සූත්‍රය
551. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. වහන්ස, “බොජ්ඣඞ්ග බොජ්ඣඞ්ග” යයි කියනු ලැබෙත්. වහන්ස, කොතෙකින් “බොජ්ඣඞ්ග”යි කියනු ලැබෙද්දෝ?යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි එහෙයින් බොජ්ඣඞ්ගහ යි කියනු ලැබෙත්. මහණ, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි.
මේ සත් බොජඟ වඩන ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදුණු කල මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බව පිණිස අනෙකක් නැතැයි දැනගනී. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි එහෙයින් බොජ්ඣඞ්ග යි කියනු ලැබෙති යි.
2. 1. 6.
කුණ්ඩලිය සූත්‍රය
552. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි මිගදාය නම් අඳුන්වෙනෙහි වැඩ වසන සේක. එකල්හි කුණ්ඩලිය පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේය. එකත්පස් ව හුන් කුණ්ඩලිය පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “භවත් ගෞතමයෙනි, මම අරම් නිසා වෙසෙන (මෙරමා මතම මැඩලා ස්වමතය තිර කිරීමට සමත්) පිරිස්හි හැසිරෙන්නෙක් වෙමි. භවත් ගෞතමයෙනි, උදයබත වැළඳූ ඒ මාගේ පසුබත මෙබඳු සිරිතෙක් වෙයි: අරමින් අරම උයනෙන් උයන අනුව සක්මන් කරමි. අනුව හැසිරෙමි. ඒ මම “වාදය මෙසේය, වාදයෙන් මිදීම මෙසේය” යි මෙය අනුසස් කොට ඇති කථා කියන ඇතැම් මහණබමුණන් එහි දකිමි. භවත් ගෞතම තෙමේ කුමක් අනුසස් කොට ඇතිව වෙසේදැ?” යි. කුණ්ඩලිය, තථාගත තෙමේ විද්‍යාවිමුක්තිඑල අනුසස් කොට ඇතුව වෙසෙයි. භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති සම්පූර්‍ණ කෙරෙද්දැ? යි. කුණ්ඩලිය, සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති සම්පූර්‍ණ කෙරෙතියි.
“භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු කෙරෙද්දැ?” යි, කුණ්ඩලිය, සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පිරිපුන් කෙරෙති යි.
“භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු සිවුසීවටන් පිරිපුන් කෙරෙද්දැ?” යි. කුණ්ඩලිය, ත්‍රිවිධ සුචරිතයෝ වඩන ලදහු බහුල කරන ලදහු සිවුසීවටන් පිරිපුන් කෙරෙතියි.
“භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු තුන් සුසිරිත් පිරිපුන් කෙරෙද්දැ?” යි. කුණ්ඩලිය, ඉන්‍ද්‍රියසංවරය වඩන ලද්දේ බහුල කරන ලද්දේ තුන් සුසිරිත් පිරිපුන් කෙරේ යි.
කුණ්ඩලිය, ඉන්‍ද්‍රියසංවරය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ තුන් සුසිරිත් පිරිපුන් කෙරේද? යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ ඇසින් දැක ඉටු අරමුණු නො පතයි. සාමිස සතුටින් නො පෙළෙයි. රාගය නූපදවයි. ඔහුගේ නාම කයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ (කමටහන් වශයෙන්) මැනවින් සිටියේ (කමටහනින් මිදීමෙන්) මැනවින් මිදුණේ වෙයි. ඇසින් ම අනිටු රූ දැක ද මකු නොවෙයි (නො හැකිලෙයි). නො සන්සුන් සිත් නැත්තේ බැගෑපත් සිත් නැත්තේ දුෂ්ට සිත් නැත්තේ වෙයි. ඔහුගේ නාමකයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වෙයි.