2. 1. 6.
කුණ්ඩලිය සූත්රය
552. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි මිගදාය නම් අඳුන්වෙනෙහි වැඩ වසන සේක. එකල්හි කුණ්ඩලිය පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේය. එකත්පස් ව හුන් කුණ්ඩලිය පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “භවත් ගෞතමයෙනි, මම අරම් නිසා වෙසෙන (මෙරමා මතම මැඩලා ස්වමතය තිර කිරීමට සමත්) පිරිස්හි හැසිරෙන්නෙක් වෙමි. භවත් ගෞතමයෙනි, උදයබත වැළඳූ ඒ මාගේ පසුබත මෙබඳු සිරිතෙක් වෙයි: අරමින් අරම උයනෙන් උයන අනුව සක්මන් කරමි. අනුව හැසිරෙමි. ඒ මම “වාදය මෙසේය, වාදයෙන් මිදීම මෙසේය” යි මෙය අනුසස් කොට ඇති කථා කියන ඇතැම් මහණබමුණන් එහි දකිමි. භවත් ගෞතම තෙමේ කුමක් අනුසස් කොට ඇතිව වෙසේදැ?” යි. කුණ්ඩලිය, තථාගත තෙමේ විද්යාවිමුක්තිඑල අනුසස් කොට ඇතුව වෙසෙයි. භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති සම්පූර්ණ කෙරෙද්දැ? යි. කුණ්ඩලිය, සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති සම්පූර්ණ කෙරෙතියි.
“භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු කෙරෙද්දැ?” යි, කුණ්ඩලිය, සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පිරිපුන් කෙරෙති යි.
“භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු සිවුසීවටන් පිරිපුන් කෙරෙද්දැ?” යි. කුණ්ඩලිය, ත්රිවිධ සුචරිතයෝ වඩන ලදහු බහුල කරන ලදහු සිවුසීවටන් පිරිපුන් කෙරෙතියි.
“භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු තුන් සුසිරිත් පිරිපුන් කෙරෙද්දැ?” යි. කුණ්ඩලිය, ඉන්ද්රියසංවරය වඩන ලද්දේ බහුල කරන ලද්දේ තුන් සුසිරිත් පිරිපුන් කෙරේ යි.
කුණ්ඩලිය, ඉන්ද්රියසංවරය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ තුන් සුසිරිත් පිරිපුන් කෙරේද? යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ ඇසින් දැක ඉටු අරමුණු නො පතයි. සාමිස සතුටින් නො පෙළෙයි. රාගය නූපදවයි. ඔහුගේ නාම කයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ (කමටහන් වශයෙන්) මැනවින් සිටියේ (කමටහනින් මිදීමෙන්) මැනවින් මිදුණේ වෙයි. ඇසින් ම අනිටු රූ දැක ද මකු නොවෙයි (නො හැකිලෙයි). නො සන්සුන් සිත් නැත්තේ බැගෑපත් සිත් නැත්තේ දුෂ්ට සිත් නැත්තේ වෙයි. ඔහුගේ නාමකයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වෙයි.
“කුණ්ඩලිය, නැවත අනෙකක්ද කියමි. මහණ තෙමේ කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විද … කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන ඉටු අරමුණ නොපතයි. සාමිස සතුටින් නො පෙළෙයි. රාගය නූපදවයි. ඔහුගේ නාමකයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වෙයි. සිතින් දහම් දැන අනිටු අරමුණෙහි මකු නො වෙයි. නො සන්සුන් සිත් නැත්තේ බැගෑපත් සිත් නැත්තේ දුෂ්ට සිත් නැත්තේ වෙයි. ඔහුගේ නාම කයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වෙයි. කුණ්ඩලිය, යම් කලෙක පටන් මහණහුගේ සිත ඇසින් රූ දැක ඉටු අනිටු රූහි නාම කයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වේද, කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විඳ … කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන ඉටු අනිටු දහම්හි නාමකයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වේ ද, කුණ්ඩලිය, ඉන්ද්රියසංවරය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ තුන් සුසිරිත් පිරිපුන් කෙරේ” යි.
“කුණ්ඩලිය, තුන් සුසිරිත් කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පිරිපුන් කෙරේද? යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාක් සුචරිතය වඩයි. මනෝ දුශ්චරිතය හැර මනඃසුචරිතය වඩයි. කුණ්ඩලිය, තුන් සුසිරිත් මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පිරිපුන් කෙරේ” යි.
“කුණ්ඩලිය, සිවු සීවටන්හු කෙසේ වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පිරිපුන් කෙරේද? යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ කයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම ඇතිව සිහි ඇතිව කාලොව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ, විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව බලමින් කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇතිව දහම්ලොවහි දැඩි ලෝභ හා දොම්නස දුරු කොට වෙසේ. කුණ්ඩලිය, සිවු සීවටන්හු මෙසේ වඩන ලදහු මෙසේ බහුල කරන ලදහු සත් බොජඟ පිරිපුන් කෙරෙති” යි.
“කුණ්ඩලිය, සත්ත බොජ්ඣඞ්ගයෝ කෙසේ වඩන ලදහු කෙසේ බහුල කරන ලදහු අර්හත්මාර්ගවිද්යාව හා එල විමුක්තිය පිරිපුන් කෙරෙද්ද යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. කුණ්ඩලිය, සත්ත බොජ්ඣඞ්ගයෝ මෙසේ වඩන ලදහු මෙසේ බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පිරිපුන් කෙරෙති” යි.මෙසේ වදාළ කල්හි කුණ්ඩලිය පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... දිවිහිමියෙන් සරණ ගිය (මා උවසු කොට දරන සේක්වා)” යි.