2. 1. 4.
වත්‍ථ සූත්‍රය
550. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එහි දී ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි’ මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ:
“ඇවැත්නි, මේ බොජ්ඣඞ්ග සතෙකි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය, විරියසම්බොජ්ඣඞ්ගය, පීතිසම්බොජ්ඣඞ්ගය, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය, සමාධිසම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මොහු සත් බොජ්ඣඞ්ගයෝ යි. ඇවැත්නි, මේ සත් බොජ්ඣඞ්ගයන් අතුරෙන් යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව පෙරවරු වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව පෙරවරු වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව මැදියම වෙසෙන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව මැදියම වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව සවස් කල වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව සවස් කල වෙසෙමි.
ඇවැත්නි, ඉදින් සතිසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම් නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවත්නේ යයි දැන ගනිමි. ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි ... ඇවැත්නි, ඉදින් උපෙක්ඛාසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම්, නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවතී යයි දැන ගනිමි. ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි. ඇවැත්නි, යම් සේ රජකුගේ හෝ රජමහඇමතියකුගේ හෝ නොයෙක් වර්‍ණයෙන් රඳනා ලද වතින් පිරුණු වත්කරඬුවෙක් වන්නේ ද හෙතෙමේ පෙරවරු යම් යම් වත්යුවලක් පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වත්යුවලම පෙරවරු පොරවන්නේය. යම් යම් වත්යුවලක් මැදියම පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වත්යුවලම මැදියම පොරවන්නේය. යම් යම් වත්යුවලක් පස්වරු පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වත්යුවලම පස්වරු පොරවන්නේය.
ඇවැත්නි, එසෙයින් ම මේ සත් බොජ්ඣඞ්ගයන් අතුරෙන් යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව පෙරවරු වසන්නට මම කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව පෙරවරු වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව මැදියම වසන්නට වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙකින් යුතුව මැදියම වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව පස්වරු වසන්නට වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව පස්වරු වෙසෙමි. ඇවැත්නි, ඉදින් සතිසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම් නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවතී යයි දැන ගනිමි. ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි ... ඇවැත්නි, ඉදින් උපෙක්ඛාසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම් නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවතී යයි දැන ගනිමි . ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි යි.
2. 1. 5.
භික්‍ෂූ සූත්‍රය
551. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. වහන්ස, “බොජ්ඣඞ්ග බොජ්ඣඞ්ග” යයි කියනු ලැබෙත්. වහන්ස, කොතෙකින් “බොජ්ඣඞ්ග”යි කියනු ලැබෙද්දෝ?යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි එහෙයින් බොජ්ඣඞ්ගහ යි කියනු ලැබෙත්. මහණ, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි.