2. 1. 3.
සීල සූත්‍රය
549. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ශීලසම්පන්න වෙත් ද, සමාධිසම්පන් වෙත් ද, ප්‍රඥාසම්පන්න වෙත් ද, විමුක්තිසම්පන්න වෙත් ද, විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙත් ද, මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ දැක්මත් බොහෝ උපකාර යැ යි මම කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ (වදන් ) ඇසීමත් බොහෝ උපකාර යැයි මම කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන් වෙත එළඹීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ භික්‍ෂූන් ඇසුරු කිරීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ භික්‍ෂූන් සිහි කිරීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ භික්‍ෂූන් අනුව පැවිදිවීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, එබඳු භික්‍ෂූන්ගේ දහම් අසා කායවිවේකය, චිත්තවිවේකය යන උභයවිවේකයෙන් යුතු වැ වෙසේ. හෙතෙමේ එසේ වෙන් ව වසන්නේ ඒ දහම සිහිකරයි, පුනපුනා සිතයි.
මහණෙනි, මහණ යම්කලෙක යම්සේ වෙන් ව වසන්නේ ඒ ධර්‍මය සිහි කෙරේ ද පුනපුනා සිතා ද එසමයෙහි ඒ මහණහු විසින් සතිසම්බොජ්ඣඞ්ගය පටන් ගන්නා ලද වෙයි. යම්කලෙක මහණ සතිසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. එසේ සිහි ඇති ව වෙසෙන්නේ ඒ දහම නුවණින් සොයයි. නුවණ හසුරුවයි. විමසීමට පැමිණේ.
මහණෙනි, මහණ යම්කලෙක එසේ සිහි ඇති ව වෙසෙන්නේ ඒ දහම නුවණින් සොයාද, නුවණ හසුරුවා ද, විමසීමට පැමිණේ ද, එසමයෙහි ඒ මහණහු විසින් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය පටන් ගන්නා ලද වෙයි. මහණ යම් සමයක ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි ඒ මහණහුගේ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඒ දහම නුවණින් සොයන නුවණ හසුරුවන විමසීමට පැමිණෙන ඔහුගේ වීර්‍ය්‍යය අරඹන ලද වෙයි, සංලීන නො වේ.
මහණෙනි, යම් කලෙක ඒ දහම නුවණින් සොයන නුවණ හසුරුවන විමසීමට පැමිණෙන මහණහුගේ වීර්‍ය්‍යය අරඹන ලද වේ ද අසංලීන වේ ද, එසමයෙහි මහණ විරියසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඇරඹූ වැර ඇත්තහුට නිරාමිස ප්‍රීතිය උපදී.
මහණෙනි, යම් කලෙක ඇරඹූ වැර ඇති මහණහුට නිරාමිස ප්‍රීතිය උපදී ද එසමයෙහි මහණහු විසින් පීතිසම්බොඡ්ඣඞ්ගය අරඹන ලද වේ. යම් කලෙක මහණ තෙමේ පීතිසම්බොඡ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ පීතිසම්බොඡ්ඣඞ්ගය භාවනාවෙන් පිරීමට යේ. ප්‍රීති සිත් ඇත්තහුගේ නාම කයත් සැහැල්ලු වේ, සිතත් සැහැල්ලු වේ.
මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයත් සැහැල්ලු වේ ද සිතත් සැහැල්ලු වේ ද එසමයෙහි මහණහු විසින් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද වෙයි. යම් කලෙක මහණ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය භාවනාවෙන් පිරීමට යේ. සැහැල්ලු කාය ඇතියහුට සුවය වේ. සුව ඇතියහුගේ සිත එකඟ වේ.
මහණෙනි, යම් සමයෙක සැහැල්ලු කය ඇති මහණහුගේ සිත එකඟ වේ ද එසමයෙහි මහණහු විසින් සමාධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද වෙයි. යම් සමයෙක මහණ සමාධිසම්බොජ්ඣඞ්ගය වඩා ද, එසමයෙහි මහණහුගේ සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඒ මහණ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක මහණ එසේ එකඟ වූ සිත මනා කොට මැදහත් ව බලන්නේ වේ ද එසමයෙහි මහණහු විසින් උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය අරඹන ලද වෙයි. යම් කලෙක මහණ උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය වඩා ද, එසමයෙහි මහණහුගේ උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ.
මහණෙනි, සප්ත බොජ්ඣඞ්ගයන් මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කල කල්හි සත් පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති වියය යුතුය. කවර සත් පල කෙනෙක් ද කවර සත් අනුසස් කෙනෙක් ද, යත්: දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් එකල්හි මැරෙන කළ රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම් එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් (බඹ ලොව ඉපිද ආයු අඩක් නො ගෙවා) අතර පිරිනිවෙනසුලු වෙයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම් ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නො වේ නම් එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් (බඹ ලොව ඉපිද ආයු අඩක් ගෙවා කෙළවර) ළගට පැමිණ පිරිනිවෙනසුලු වෙයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම් ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් ආයු කෙළවර ළගට පැමිණ පිරිනිවෙනසුලු නො වේ නම් එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ රහිත ව පිරිනිවෙනසුලු වෙයි.