2. 1. 2.
කාය සූත්රය
548. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ ආහාර ප්රත්යයයෙන් සිටුනා මේ කය අහර නිසා පවතීද, අහර නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින්ම ආහාර ප්රත්යයයෙන් සිටුනා පඤ්ච නීවරණයෝ අහර නිසා පවතිත්, අහර නැතිව නො පවතිත්.
මහණෙනි, නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිස ද උපන් කාමච්ඡන්දයාගේ බහුල බව විපුල බව පිණිස ද ප්රත්යය කවරේද යත්: මහණෙනි, ශුභ නිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්දය බොහෝ වීම පිණිසත් විපුලත්වය පිණිසත් මේ ප්රත්යයයි.
මහණෙනි, නූපන් ව්යාපාදය ඉපදීම පිණිසත් උපන් ව්යාපාදයාගේ බහුල බව විපුල බව පිණිසත් ප්රත්යය කවරේ ද යත්: මහණෙනි, ප්රතිඝනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් ව්යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්යාපාදයේ බොහෝ බව පිණිසත් විපුලත්වය පිණිසත් මේ ප්රත්යයයි.
මහණෙනි, නූපන් ථිනමිද්ධය ඉපදීම පිණිසත් උපන් ථිනමිද්ධයාගේ බහුල බව විපුලත්වය පිණිසත් ප්රත්යය කවරේද යත්: මහණෙනි, (ප්රාන්ත සේනාසනයන්හි හා අධිකුශල) ධර්මයන්හි නො ඇල්මෙක් තෙමරියෙක් (මැලිබවෙක්) මැලි හැරීමෙක් (කායවිජුම්භණයෙක්) බත් මතයෙක් සිතේ මැලිබවෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් ථිනමිද්ධය ඉපදීම පිණිසත්, උපන් ථිනමිද්ධයාගේ බොහෝ බව විපුලත්ත්වය පිණිසත් මේ ප්රත්යයයි.
මහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චය ඉපදීමටත් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ බොහෝ බවටත් විපුලත්වයටත් ප්රත්යය කවරේද යත්: මහණෙනි, සිතේ නොසන්හිදුමෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීමටත්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ බොහෝ බවටත් විපුලත්වයටත් මේ ප්රත්යයයි.
මහණෙනි, නූපන් විචිකිච්ඡාව ඉපදීමටත් උපන් විචිකිච්ඡාවගේ බොහෝ බවටත් විපුලත්වයටත් ප්රත්යය කවරේ ද යත්: මහණෙනි, විචිකිච්ඡාවට හිත වු ධර්මයෝ ඇතියහ. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් විචිකිච්ඡාව ඉපදීමටත්, උපන් විචිකිච්ජාවේ බොහෝ බවටත් විපුලත්වයටත් මේ ප්රත්යය යි. මහණෙනි, යම්සේ මේ කය ප්රත්යයස්ථිතික වේ ද, ප්රත්යය නිසා පවතිත් ද, ප්රත්යය නැති ව නො පවතිත් ද, මහණෙනි, එසෙයින් ම මේ පඤ්ච නීවරණයෝ ප්රත්යයස්ථිතිකයහ. ප්රත්යය නිසා පවතිත්, ප්රත්යය නැතිව නොපවතිත්.
මහණෙනි, යම්සේ මේ කය ප්රත්යයස්ථිතික වේද, ප්රත්යය නිසා පවතී ද, ප්රත්යය නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින් ම සප්ත බොජ්ඣඞ්ගයෝ ප්රත්යයස්ථිතිකයහ, ප්රත්යය නිසා පවතිත්, ප්රත්යය නැති ව නො පවතිත්. මහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපදීමටත් උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමටත් පිරීමටත් ප්රත්යය කවරේ ද යත්: මහණෙනි, සතිසම්බොඡ්ඣඞ්ගයට හිත වූ ධර්මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපදීමටත් උපන් සතිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්රත්යයයි.
මහණෙනි, නූපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්රත්යය කවරේ ද: මහණෙනි, කුශලාකුශලධර්මයෝ සාවද්යානවද්යධර්මයෝ හීනප්රණීතධර්මයෝ කෘෂ්ණශුක්ලසප්රතිභාගධර්මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්රත්යයයි.