12. 5. 7.
ඡිග්ගල සූත්රය
3889. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහමුහුදෙහි එක් සිදුරක් ඇති වියදණ්ඩක් බහා ලන්නේ ද එහි කණකැස්බෙක් වන්නේ ය. හේ සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුයෙහි ගෙල පිවිස්වන්නේ දැ යි? වහන්ස, දිගුකලෙක ඇවෑමෙන් කිසි කවර දවසෙක විය හැකි යි. මහණෙනි, ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුයෙහි ඉතා වහා ගෙල පිවිස්වන්නේ ය. මහණෙනි, වරක් අපායට ගිය බාලයා විසින් මිනිසත්බව සුලබ ය යි මම නො ම කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි දහම්හි හැසිරීමෙක් පින් කිරීමෙක් නො ම ඇත. මහණෙනි, මෙහි ඔවුනොවුන් කෑමෙක් දුඹුලන් කෑමෙක් පවතී. ඒ කවර හෙයින් යත්” මහණෙනි, චතුරාර්ය්යසත්යය නුදුටු බැවිනි. කවර චතුරාර්ය්යසත්යයෙක් යත්: දුඃඛාර්ය්යසත්ය ය ... දුඃඛනිරොධගාමිනීප්රතිපදාර්ය්යසත්යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක්ඛ නිරොධගාමිනීපටිපදා” යි වීර්ය්ය කටයුතු යි.
12. 5. 8.
දුතියඡිග්ගල සූත්රය
3890. මහණෙනි, යම්සේ මේ මහපොළොව එක ම ජලාසයෙක් වන්නේ ද, පුරුෂයෙක් එක්සිදුරු වියදණ්ඩක් එහි බහා ලන්නේ ය. ඒ මෙය පෙරදිගින් හමන වාතය පැළදිගට පමුණුවන්නේ ය. පැළදිගින් හමන වාතය පෙරදිගට පමුණුවන්නේ ය. උතුරුදිගින් හමන වාතය දකුණුදිගට පමුණුවන්නේ ය. දකුණුදිගින් හමන වාතය උතුරුදිගට පමුණුවන්නේ ය. එහි කණකැස්බෙක් වන්නේ ය. හේ සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුවෙහි ගෙල පිවිසවන්නේ දැ යි? වහන්ස, ඒ කණකැස්බා දිගුකලෙක සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුවෙහි ගෙල පිවිසවන්නේ ය යන යමෙක් වේ නම් මෙය කිසි දවසක සිදුවන්නෙකි. මහණෙනි, මිනිසත්බව ලබයි යන යමෙක් වේ නම් මෙය දිගුකලක් ඉක්ම යෑමෙන් සිදු වන්නෙකි. මහණෙනි, එමෙන් ම අර්හත්සම්යක්සම්බුද්ධ වූ තථාගත තෙමේ ලොව උපදී යන යමෙක් වේ නම් මේ ද දිගුකලක් ගතවීමෙන් සිදු වන්නෙකි. මහණෙනි, එමෙන් ම තථාගතයන් විසින් පවසන ලද සසුන ලොව බබලයි යන යමෙක් වේ නම් මෙ ද දිගුකලක් ගතවීමෙන් සිදු වන්නෙකි. මහණෙනි ඔහු විසින් මේ මිනිසත්බව ලදි. තථාගතයන් විසින් පවසන ලද සසුනත් ලොව බබලයි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක්ඛ නිරොධගාමිනීපටිපදා” යි වීර්ය්ය කටයුතු යි.
12. 5. 9.
සිනේරු සූත්රය
3891. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මුං පමණ වූ ගල්කැට සතක් සිනේරු පවුරජු ළඟ බහා තබන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? ළඟ තබන ලද මුං පමණ යම් පහණ සකුරු හෝ සිනේරු පවුරජු හෝ දැ යි. වහන්ස, යම් මේ සිනේරුපවුරජෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ළඟ තබන ලද මුං පමණ වූ ගල්කැට සතක් සිනේරු පවුරජු හා සැසඳීමෙහි දී මුං පමණ වූ සත් පහණ සකුරු ගණනට ද නො පැමිණේ. සැසැඳීම් පමණකට දු නො පැමිණේ. (සියයෙන් දහසින් සියදහසින්) කලාවකට දු නො පැමිණේ.