5. පපාත වර්‍ගය
12. 5. 1.
චින්තා සූත්‍රය
3883. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. එක්තරා පුරුෂයෙක් රජගහගහනුවරින් නික්ම ලෝ සිතිවිලි සිතන්නෙමි” යි සුමාගවා නම් පොකුණ වෙත එළඹියේ ය. එළඹ ලෝසිතිවිලි සිතමින් සුමාගවා පොකුණු තෙර හුන්නේ ය. මහණෙනි, ඒ පුරිස් තෙමේ සුමාගවා පොකුණෙහි නෙළුඹුදැලි තුළට පිවිසෙන සිවුරඟ සෙනඟක් දුටුයේ ය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: “ලොව යමක් නැත් නම් එය මවිසින් දක්නා ලදී. මම නම් උමතුවෙක්මි, මම නම් පහවූ සිතිවිලි ඇත්තෙක්මි” යි.
මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ රජගහනුවරට පිවිස: හිමියනි, ලොව යමක් නැත් නම් එය මවිසින් දක්නා ලදී. මම නම් උමතුවෙක්මි. හිමියනි, මම නම් පහ වූ සිතිවිලි ඇත්තෙක්මි” යි මහදනමුළුවට සැලකෙළේ ය. එම්බා පුරුෂය ඒ කෙසේ නම් තෝ උමතුවෙක් වෙහි ද? කෙසේ පහ වූ සිතිවිලි ඇත්තෙක් වෙහි ද? ලොව නැති කිමෙක් තා විසින් දක්නා ලද දැ යි? හිමියනි, “මෙහි මම රජගහනුවරින් නික්ම “ලෝසිතිවිලි සිතන්නෙමි” යි “සුමාගවා” පොකුණ වෙත එළඹියෙමි. එළඹ “සුමාගවා” පොකුණු තෙර ලෝසිතිවිලි සිතමින් හුන්නෙමි. හිමියනි, මම සුමාගවා පොකුණෙහි නෙළුඹුදැලි තුළට පිවිසෙන සිවුරඟ සෙනග දිටිමි. හිමියනි, මෙසේ මම උමතුවෙක්මි. මෙසේ පහ ව ගිය සිතිවිලි ඇත්තෙක්මි ලොව නැති මෙ ද මා විසින් දක්නා ලදැ”යි, එම්බා පුරුෂය, තෝ ඒකාන්තයෙන් උමතුවෙකි, ඒකාන්තයෙන් පහ ව ගිය සිතිවිලි ඇත්තෙකි. ලොව නැති මෙ ද තා විසින් දක්නා ලදැ යි. මහණෙනි, ඒ පුරිස් තෙමේ ඒ වූවක් ම දිටි. නුවූවෙක් නො වේ.
මහණෙනි, පෙර වූවක් කියමි: දෙවියන් හා අසුරයන් අතර යුදධක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ යුද්ධයෙහි දී දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුණු අසුරයෝ බියපත් වූවාහු දෙවියන්ගේ සිත් මුළා කරවමින් ම නෙළුඹුදැලියෙන් අසුර පුරයට පිවිසියහ. මහණෙනි, එහෙයින් මෙහි ලා “ලෝකය ශාශ්වත ය” යි හෝ “ලෝකය අශාශ්වත ය” යි හෝ “ලෝකය අන්තවත් ය” යි හෝ “ලෝකය අනන්තවත් ය” යි හෝ “එය ජීවය එය ශරීරය” යි හෝ “ජීවය අනෙකක ශරීරය අනෙකකැ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ” යි. ලෝ සිතිවිලි නහමක් සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිලි වැඩ සහිත නො වේ. මගබඹසරට මුල් නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී නිරෝධය පිණිස නො පවතී ව්‍යූපශමය පිණිස නො පවතී අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී නිර්‍වාණය පිණිස නො පවතී.
මහණෙනි, තෙපි සිතන්නහු නම් “මේ දුකැ” යි සිතවු. “මේ දුක් හටගැනුමැ”යි සිතවු. “මේ දුක් වැළැක්මැ”යි සිතවු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩදායක ය. මේ මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සමෙබාධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 2.
පපාත සූත්‍රය
3884. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: මහණෙනි, “යමු දිවාවිහරණය පිණිස පටිභානකූටය වෙත එළඹෙන්නෙමු” යි. ‘එසේ ය වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග පිලිබහන්කුළ වෙත එළඹිසේක. එක්තරා මහණෙක් පිළිබහන්කුළෙහි මහත් ප්‍රපාතයක් දිටී. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: “වහන්ස, මේ ප්‍රපාතය ඒකාන්තයෙන් මහති. වහන්ස, මේ ප්‍රපාතය ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්‍රපාතක් ඇද්දෝ” යි “මහණ, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්‍රපාතක් ඇතැ”යි. වහන්ස, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්‍රපාතය කවරේ දැ යි.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද, “මේ දුක් හට ගැනුමැ”යි තතු සේ නො දනිද්ද, “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්.