12. 5. 8.
දුතියඡිග්ගල සූත්‍රය
3890. මහණෙනි, යම්සේ මේ මහපොළොව එක ම ජලාසයෙක් වන්නේ ද, පුරුෂයෙක් එක්සිදුරු වියදණ්ඩක් එහි බහා ලන්නේ ය. ඒ මෙය පෙරදිගින් හමන වාතය පැළදිගට පමුණුවන්නේ ය. පැළදිගින් හමන වාතය පෙරදිගට පමුණුවන්නේ ය. උතුරුදිගින් හමන වාතය දකුණුදිගට පමුණුවන්නේ ය. දකුණුදිගින් හමන වාතය උතුරුදිගට පමුණුවන්නේ ය. එහි කණකැස්බෙක් වන්නේ ය. හේ සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුවෙහි ගෙල පිවිසවන්නේ දැ යි? වහන්ස, ඒ කණකැස්බා දිගුකලෙක සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුවෙහි ගෙල පිවිසවන්නේ ය යන යමෙක් වේ නම් මෙය කිසි දවසක සිදුවන්නෙකි. මහණෙනි, මිනිසත්බව ලබයි යන යමෙක් වේ නම් මෙය දිගුකලක් ඉක්ම යෑමෙන් සිදු වන්නෙකි. මහණෙනි, එමෙන් ම අර්‍හත්සම්‍යක්සම්බුද්ධ වූ තථාගත තෙමේ ලොව උපදී යන යමෙක් වේ නම් මේ ද දිගුකලක් ගතවීමෙන් සිදු වන්නෙකි. මහණෙනි, එමෙන් ම තථාගතයන් විසින් පවසන ලද සසුන ලොව බබලයි යන යමෙක් වේ නම් මෙ ද දිගුකලක් ගතවීමෙන් සිදු වන්නෙකි. මහණෙනි ඔහු විසින් මේ මිනිසත්බව ලදි. තථාගතයන් විසින් පවසන ලද සසුනත් ලොව බබලයි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛ නිරොධගාමිනීපටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 9.
සිනේරු සූත්‍රය
3891. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මුං පමණ වූ ගල්කැට සතක් සිනේරු පවුරජු ළඟ බහා තබන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? ළඟ තබන ලද මුං පමණ යම් පහණ සකුරු හෝ සිනේරු පවුරජු හෝ දැ යි. වහන්ස, යම් මේ සිනේරුපවුරජෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ළඟ තබන ලද මුං පමණ වූ ගල්කැට සතක් සිනේරු පවුරජු හා සැසඳීමෙහි දී මුං පමණ වූ සත් පහණ සකුරු ගණනට ද නො පැමිණේ. සැසැඳීම් පමණකට දු නො පැමිණේ. (සියයෙන් දහසින් සියදහසින්) කලාවකට දු නො පැමිණේ.
මහණෙනි, එසෙයින් ම චතුස්සත්‍යාවබෝධය කළ දිටුසපන් අරීසවුපුඟුල්හු විසින් මේ දුකෙක් ක්‍ෂය කරන ලද්දේ ගෙවන ලද්දේ වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. යමෙක් මේ දුකැ යි තතුසේ දනී ද ... මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ යි තතුසේ දනී ද, යන යම් මේ සතතකඛතතුපරමතාවක් (සත්වරක් ඉපදීම පරම කොට ඇති බවෙක්) වේ නම් මෙය ක්‍ෂය කළ ගෙවුණු පළමු දුක්කඳ හා සැසඳීමෙහි දී ගණනකට නො පැමිණේ. සැසඳීමකට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 10.
දුතියසිනේරු සූත්‍රය
3892. මහණෙනි, යම්සේ සිනේරුපවුරජ මුං පමණ වූ පහණ සකුරු සතක් තබා ක්‍ෂයවීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා වැඩි ද? සිනේරුපවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු යමෙක් වේ නම් එය හෝ ඉතිරි වූ මුං පමණ වූ පහණ සකුරු සතෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, සිනේරුපවුරජුගේ යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ මුං පමණ වූ පහණසකුරු සත ඉතා මඳ ය. සිනේරුපවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ මුං පමණ වූ පහණ සකුරු සත ගිණුමට ද නො පැමිණේ. සැසැඳීමට ද නො පැමිණේ. කල භාගයකට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම චතුස්සත්‍යාවබෝධය කළ දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ක්‍ෂය වූ ගෙවුණු යම් මේ දුකෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. ක්‍ෂය වූ ගෙවුණු පළමු දුක්කඳ හා සැසැඳීමෙහි දී යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, යන යම් මේ සතතකඛතතුපරමතාවක් වේ නම් මෙය ගිණුමට දු නො පැමිණේ. සැසඳුමකට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
පපාතවර්‍ග ය පස්වැනි යි.
එහි සූත්‍ර නාමාවලිය :
චින්තා, පපාත, පරිළාහ, කූට, වාද, අන්‍ධකාර යි සයෙක් ද ඡිග්ගල සුතුරු දෙකෙක් ද අනෙක් සුතුරු දෙකෙක් ද කියන ලද හ යි.