12. 5. 6.
අන්ධකාර සූත්රය
3888. මහණෙනි, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේත් ආලෝකය යම් තැනෙක නො ලබත් නම් ලොව අතර පවත්නා හිස් වූ ආවරණ රහිත වූ අඳුරු කරන එබඳු ගන අඳුරෙක් ඇතැ යි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් මහති. වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇද්දැ?”යි. මහණ, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇතැ යි. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුර කවරේ දැ?යි
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජාති අඳුරට ද වැටෙත්. ජරා අඳුරට ද වැටෙත්. මරණ අඳුරට ද වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අඳුරට ද වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකින් නො මිදෙති යි කියමි.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ දනිද් ද ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත් ... නො ඇලුණාහු ... රැස් නො කෙරෙත් ... රැස් නො කොට ජාති අඳුරට ද නො වැටෙත්. ජරා අඳුරට ද නො වැටෙත්. මරණ අඳුරට ද නො වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අඳුරට ද නො වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. සියලු දුකින් මිදෙති යි කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය්ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.
12. 5. 7.
ඡිග්ගල සූත්රය
3889. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහමුහුදෙහි එක් සිදුරක් ඇති වියදණ්ඩක් බහා ලන්නේ ද එහි කණකැස්බෙක් වන්නේ ය. හේ සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුයෙහි ගෙල පිවිස්වන්නේ දැ යි? වහන්ස, දිගුකලෙක ඇවෑමෙන් කිසි කවර දවසෙක විය හැකි යි. මහණෙනි, ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුයෙහි ඉතා වහා ගෙල පිවිස්වන්නේ ය. මහණෙනි, වරක් අපායට ගිය බාලයා විසින් මිනිසත්බව සුලබ ය යි මම නො ම කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි දහම්හි හැසිරීමෙක් පින් කිරීමෙක් නො ම ඇත. මහණෙනි, මෙහි ඔවුනොවුන් කෑමෙක් දුඹුලන් කෑමෙක් පවතී. ඒ කවර හෙයින් යත්” මහණෙනි, චතුරාර්ය්යසත්යය නුදුටු බැවිනි. කවර චතුරාර්ය්යසත්යයෙක් යත්: දුඃඛාර්ය්යසත්ය ය ... දුඃඛනිරොධගාමිනීප්රතිපදාර්ය්යසත්යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක්ඛ නිරොධගාමිනීපටිපදා” යි වීර්ය්ය කටයුතු යි.