12. 5. 4.
කූටාගාර සූත්‍රය
3886. මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කුළුගෙයක යටභාගය නො කොට මතුභාගය නගන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැද්ද, මහණෙනි, එසෙයින් ම යමෙක් මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද … දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කුළුගෙයක යටගෙය කොට මතුගෙය නගන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇද්ද, මහණෙනි, එසෙයින් ම යමෙක් මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇත. එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 5.
වාල සූත්‍රය
3887. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනඳතෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් අනඳතෙරණුවෝ සිප්හලෙහි විදීමට පුහුණුවන සියුම් කෙසිසිදුරෙන් හීපගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන බොහෝ ලිචඡවීකුමරුන් දුටහ. දැක උන්වහන්සේට මෙබඳු සිතෙක් වියේ. “යම් කෙනෙක් දුරින් ම සියුම් කෙසිසිදුරෙන් හීපගලියෙන් පගලිය නො වළහා හීතලය ඉක්මවන්නාහු නම් ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් හික්මුණහ. ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් මැනවින් හික්මුණ”යි.
ඉක්බිති ඇවැත් අනඳ තෙරණුවෝ විසල්පුර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඇවැත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස, මම සිප්හලෙහි විදීම පුහුණුවන සියුම් කෙසිසිදුරෙන් පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන බොහෝ ලිචඡ්විකුමරුන් දිටිමි. දැක මට මෙබඳු සිතෙක් විය: යම් කෙනෙක් සියුම් කෙසිසිදුරෙන් පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන්නාහු නම් ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් හික්මුණහ. ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් මැනවින් හික්මුණ”යි.
ආනන්‍ද, ඒ කිමැ යි හඟිවු ද? යමෙක් සියුම් කෙසිසිදුරෙන් පගලිය නො වළහා පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන්නේ ද, යමෙකුත් සියක්වර පැළූ අස්ලොම්හි කෙළවරින් කෙළවරට විදුනේ ද, මෙයින් කිමෙක් ඉතා දුෂ්කර හෝ ඉතා දුලබ හෝ දැ යි? වහන්ස, යමෙක් සියක්වර පැළූ අස්ලොම්හි කෙළවරින් කෙළවරට විදුනේ නම් මෙය ම ඉතා දුෂ්කර ද ඉතා දුලබ ද වේ යි. ආනන්‍ද, වැලි යම් කෙනෙක් “මේ දුකැ” යි තතුසේ පිළිවිදිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ පිළිවිදිත්. ආනන්‍ද, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 6.
අන්‍ධකාර සූත්‍රය
3888. මහණෙනි, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේත් ආලෝකය යම් තැනෙක නො ලබත් නම් ලොව අතර පවත්නා හිස් වූ ආවරණ රහිත වූ අඳුරු කරන එබඳු ගන අඳුරෙක් ඇතැ යි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් මහති. වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇද්දැ?”යි. මහණ, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇතැ යි. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුර කවරේ දැ?යි