12. 5. 3.
පරිළාහ සූත්‍රය
3885. මහණෙනි, මහාපරිළාහ නම් නිරයෙක් ඇත. එහි යම් කිසි රුවක් ඇසින් දකී නම් අනිටු රුවක් ම දකී. ඉටු රුවක් නො දකී. නො කැමති රුවක් ම දකී. කැමති රුවක් නො දකී. නො මනා රුවක් ම දකී. මනාරුවක් නො දකී. කණින් යම් කිසි සදක් අසා නම් ... නැහැයෙන් ගඳක් ගනී නම් ... දිවින් රසක් විඳී නම් ... කයින් පහසක් පුසී නම් ... සිතින් යම් කිසි දහමක් දනී නම් අනිටු රුවක් ම දනී. ඉටු රුවක් නො දනී. නො කැමති රුවක් ම දනී. කැමති රුවක් නො දනී. නො මනාරුවක් ම දනී. මනාරුවක් නො දනීයි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, ඒ පරිළාහ නිරය ඒකාන්තයෙන් මහති. වහන්ස, ඒ පරිළාහ නිරය ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ පරිළාහයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් පරිළාහයෙක් ඇද්දෝ” යි? මහණ, මේ පරිළාහයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් පරිළාහයෙක් ඇතැ යි. වහන්ස, මේ පරිළාහයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අන් පරිළාහය කවරේ දැයි?
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ”යි තතු සේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත් .. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ... සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත් ... සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ... සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජාතිපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. ජරාපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. මරණපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් නො මිදෙත්. දුකින් නො මිදෙති යි කියමි.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ දනිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනිද් ද ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත් .. නො ඇලුණාහු ... රැස් නො කෙරෙත් ... රැස් නො කොට ... ජාතිපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. ජරාපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. මරණපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් මිදෙත්. සියලු දුකින් මිදෙති යි කියමි. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 4.
කූටාගාර සූත්‍රය
3886. මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කුළුගෙයක යටභාගය නො කොට මතුභාගය නගන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැද්ද, මහණෙනි, එසෙයින් ම යමෙක් මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද … දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කුළුගෙයක යටගෙය කොට මතුගෙය නගන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇද්ද, මහණෙනි, එසෙයින් ම යමෙක් මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇත. එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 5.
වාල සූත්‍රය
3887. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනඳතෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් අනඳතෙරණුවෝ සිප්හලෙහි විදීමට පුහුණුවන සියුම් කෙසිසිදුරෙන් හීපගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන බොහෝ ලිචඡවීකුමරුන් දුටහ. දැක උන්වහන්සේට මෙබඳු සිතෙක් වියේ. “යම් කෙනෙක් දුරින් ම සියුම් කෙසිසිදුරෙන් හීපගලියෙන් පගලිය නො වළහා හීතලය ඉක්මවන්නාහු නම් ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් හික්මුණහ. ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් මැනවින් හික්මුණ”යි.