11. 5. 7.
නන්දිය සූත්රය
3815. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය දනව්වෙහි කිඹුල්වත නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්දිය ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නන්දිය ශාක්යහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: නන්දිය, සිවු දහමෙකින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: නන්දිය, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. නන්දිය, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 5. 8.
භද්දිය සූත්රය
3816. එක්කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය දනව්වෙහි කිඹුල්වත නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති භද්දිය ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් භද්දිය ශාක්යයන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: භද්දිය, සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: භද්දිය, මෙහි අරීසවු “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. භද්දිය, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 5. 9.
මහානාම සූත්රය
3817. එක්සමයෙක් භාග්යවතුන් වහන්සේ ශාක්යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් මහානාම ශාක්යහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහානාම, සිවු දහමකින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙයි. කවර සතරකින යත්: මහානාම, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්රසාදයෙන් යුතු වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. මහානාම, මේ සිවු දහමින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 5. 10.
අඞ්ග සූත්රය
3818. මහණෙනි, මේ සෝවන් අඟ සතරෙකි. කවර සතරෙක යත්: සත්පුරුෂසේවනය සද්ධර්මශ්රවණය යෝනිසෝමනස්කාරය ධර්මානුධර්මප්රතිපත්ති යි. මහණෙනි, මොහු සිවු සෝවන් අඟයි.
පස්වැනි සගාථ පුඤ්ඤාභිසන්ද වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
අසඞ්ඛෙය්යසූත්ර තුනෙක් ද, අඩ්ඪ නමින් අනෙක් දෙකෙක් ද කියන ලදහ, සුද්ධක නන්දිය භද්දිය මහානාම අඞ්ග යන පසින් ඔහු දසයෙක් වේ යි.