11. 5. 8.
භද්දිය සූත්රය
3816. එක්කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය දනව්වෙහි කිඹුල්වත නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති භද්දිය ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් භද්දිය ශාක්යයන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: භද්දිය, සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: භද්දිය, මෙහි අරීසවු “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. භද්දිය, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 5. 9.
මහානාම සූත්රය
3817. එක්සමයෙක් භාග්යවතුන් වහන්සේ ශාක්යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් මහානාම ශාක්යහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහානාම, සිවු දහමකින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙයි. කවර සතරකින යත්: මහානාම, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්රසාදයෙන් යුතු වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. මහානාම, මේ සිවු දහමින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 5. 10.
අඞ්ග සූත්රය
3818. මහණෙනි, මේ සෝවන් අඟ සතරෙකි. කවර සතරෙක යත්: සත්පුරුෂසේවනය සද්ධර්මශ්රවණය යෝනිසෝමනස්කාරය ධර්මානුධර්මප්රතිපත්ති යි. මහණෙනි, මොහු සිවු සෝවන් අඟයි.
පස්වැනි සගාථ පුඤ්ඤාභිසන්ද වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
අසඞ්ඛෙය්යසූත්ර තුනෙක් ද, අඩ්ඪ නමින් අනෙක් දෙකෙක් ද කියන ලදහ, සුද්ධක නන්දිය භද්දිය මහානාම අඞ්ග යන පසින් ඔහු දසයෙක් වේ යි.
6. සප්පඤ්ඤ වර්ගය
11. 6. 1.
සගාථක සූත්රය
3819. මහණෙනි, සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෘහ. බුද්ධය හ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක.
යමකුට තථාගතයන් කෙරෙහි ශ්රද්ධාව අචල ව මැනැවින් පිහිටියා ද, යමකුගේ යහපත් වූ ශීලයත් ආර්ය්යකාන්ත වූයේ පසස්නා ලද්දේ ද,
යමකුට සඞ්ඝයා කෙරෙහි පැහැදීම ඇද්ද, ඥානදර්ශනයත් ඍජු වූයේ වේ ද ඔහු නො දිළින්දෙකැ යි (බුද්ධාදි උතුමෝ) කියති. ඔහුගේ ජීවිතය නොසිස් වේ.
එහෙයින් ප්රාඥ තෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරනුයේ ශ්රද්ධාවත් ශීලයත් පැහැදීමත් දහම දැකීමත් අනුයෝගවශයෙන් පිරිසිදු කරන්නේ යි.
11. 6. 2.
වස්සංවුත්ථ සූත්රය
3820. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත්නුවර වස් එළඹියේ කිසියම් කටයුත්තක් පිණිස කිඹුල්වතට පැමිණියේ වෙයි. කිඹුල්වත්පුරවැසි ශාක්යයෝ “සැවැත්නුවර වස් එළැඹි එක්තරා මහණෙක් කිඹුල්වතට පැමිණියේ ය”යි ඇසූහ. ඉක්බිති කිඹුල්වත්පුරවැසි ශාක්යයෝ ඒ මහණහු වෙත එළඹියහ. එළඹ ඒ මහණහු වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් කිඹුල්වත්පුරවැසි ශාක්යයෝ ඒ මහණහුට මෙය කීහ:
වහන්ස, “කිම භාග්යවතුන් වහන්සේ නීරෝගත් බලවතුත් වනසේක් දැ”යි? ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ නීරෝග ද බලවද්ද වන සේකැ යි. වහන්ස, “කිම සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ නීරෝගත් බලවතුත් වෙද්දැ”යි? ඇවැත්නි, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේත් නීරෝග ද බලවද් ද වෙති යි. වහන්ස, “කිම බික් සඟන නීරෝගත් බලවතුත් වේ දැ”යි? ඇවැත්නි, බික්සඟනත් නීරෝග ද බලවද්ද වේ යි. වහන්ස, “මේ ඇතුළුවස භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද ඉදිරියෙහි පිළිගන්නා ලද කිසිවක් ඇද්දැ”යි? ඇවැත්නි මා විසින් මෙය භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද, ඉදිරියෙහි පිළිගන්නා ලදී (කිමෙක් ද යත්:)