11. 5. 1.
අසඞේඛය්ය සූත්රය
3809. මහණෙනි, සැපයට ප්රත්යය වූ මේ පුණ්යගඞ්ගා කුසලගඞ්ගා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲ හ. බුද්ධය හ. භගවත් හ”යි බුදුන් කෙරෙහි අචලප්රසාදයෙන් සමන්වාගත වෙයි. මේ සුවයට ප්රත්යය වු පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනිකක් ද කියමි: අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනිකක් ද කියමි: අරීසවුතෙමේ අඛණ්ඩ වූ ... සමාධිසංවත්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. මේ සුවයට ප්රත්යය වූ සිවුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, මේ සතර සුවයට ප්රත්යය වූ පුණ්යගඞ්ගාවෝ කුසලගඞ්ගාවෝ ය.
මහණෙනි, මේ සිවු පුණ්යගඞ්ගාවන් ගෙන් කුසලගඞ්ගාවන් ගෙන් යුතු වූ අරීසවුහට සුවයට ප්රත්යය වූ මෙතෙක් පින්ගඟෙකැ කුසල්ගඟෙකැ යි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි, මහපින් කඳෙකැයි ම ගිණුවට යේ. මහණෙනි, යම් සේ මහමුහුදෙහි දිය ලාස් මෙතෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියයකැයි හෝ දිය ලාස් මෙතෙක් දහසෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියදහසෙකැයි හෝ දියෙහි පමණ ගණන්නට සුකර නො වේ ද, වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි, මහදියකඳෙකැයි ම ගිණුමට යේ ද, මහණෙනි, එසෙයින් ම මේ සිවු පුණ්යගඞ්ගාවන්ගෙන් කුශලගඞ්ගාවන්ගෙන් යුතු වූ අරීසවුහට සුවයට ප්රත්යය වූ මෙතෙක් පින්ගඟෙකැයි කුසල්ගඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නොකළ හැකි පමණ නොකළ හැකි මහපින් කඳෙකැයි ම ගිණුමට යේ යි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක.
මිනිස් සමූහයා විසින් සෙවුනා ලද ගලාබස්නා බොහෝ වූ නදීහු මහත්දියකඳ දරන, පමණ නොකළ හැකි, මහත් ගඞ්ගාවන්ගේ එක්වීම ඇති, බෙහෙවින් බිහිසුණු වූ, රුවන්සමූහයට උත්පත්තිස්ථාන වූ සයුරට යම්සේ පැමිණෙද් ද,
එසෙයින් ආහාරපානවස්ත්ර දානය කරන සෙනසුන් අතුරුණු දෙන නුවණැති මිනිසා කරා දිය උසුලන නදීන් සයුර කරා පැමිණෙනු මෙන් පින්දහර පැමිණේ යි.
11. 5. 2.
දුතිය අසඞේඛය්ය සූත්රය
3810. මහණෙනි, සුවයට ප්රත්යය වූ මේ පුණ්යගඞ්ගා කුශලගඞ්ගා සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ සුවයට ප්රත්යය වූ පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ මුදන ලද ත්යාග ඇතියේ දෝනා ලද අත් ඇතියේ දීමෙහි ඇලුණේ යදිනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණේ පහව ගිය මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසේ. මේ සුවයට ප්රත්යය වූ සිවුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, මේ සතර සුවයට ප්රත්යය වූ පුණ්යගඞ්ගාවෝ කුශලගඞ්ගාවෝ ය.
මහණෙනි, මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට සුවයට ප්රත්යය වූ මෙතෙක් පින්ගඟෙක, කුසල්ගඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි මහපින් කඳෙකැයි ම ගිණුමට යේ. මහණෙනි, යම්සේ මේ මහානදීහු, එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන පස්මහනදීහු යම් තැනෙක එකතුවෙද්ද, ගැළපෙද්ද, එහි දිය ලාස් මෙතෙකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියයකැ යි හෝ දිය ලාස් මෙතෙක් දහසකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියදහසෙකැ යි හෝ දියෙහි පමණ ගණන්නට සුකර නො වේ ද, වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි. මහදිය කඳෙකැයි ම ගිණුමට යේ ද, මහණෙනි, එසෙයින් ම මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට “සුවයට පසය වූ මෙතෙක් පින්ගඟක, කුසල්ගඟෙකැ”යි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි මහපින්කඳෙකැයි ම ගිණුමට යේ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක.
මිනිස් සමූහයා විසින් සෙවුනා ලද ගලාබස්නා බොහෝ වූ ගඞ්ගාවෝ මහත් දියකඳ දරන පමණ නො කළැකි මහත් නදීන්ගේ එක්වීම ඇති, බෙහෙවින් බිහිසුණු වූ, රුවන් සමූහයට උත්පත්තිස්ථාන වූ සයුර කරා යම්සේ පැමිණෙත් ද,
එසෙයින් ආහාරපානවස්ත්ර දානය කරන, සෙනසුන් අතුරුණු දෙන නුවණැති මිනිසා කරා දිය උසුලන ගඞ්ගාවන් සයුර කරා පැමිණෙනු මෙන් පින්දහර පැමිණේ යි.