11. 3. 8.
තතිය අනාථපිණ්ඩික සූත්රය
3796. එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් අනේපිඬුගැහැවිහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ගැහැවි, යම් කලෙක අරීසවුහුගේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද්ද, සිවු සෝවන් අඟිනුත් යුතු වූයේ වේ ද, අරී නයත් ඔහු විසින් නුවණින් මනාකොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ “ක්ෂය වූ නිරය ඇත්තෙම් ක්ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්ෂය වූ ප්රේතවිෂය ඇත්තෙම් ක්ෂය වූ අපායදුර්ගතිවිනිපාත ඇත්තෙම් වෙමි. මම විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි” යි තෙමේ ම තමා පවසන්නේ ය. කවර පස් බිය වෙර සන්හුන්නාහු ද යත්:
ගැහැවි පණිවා කරනසුල්ලෙක් පණිවාපසයෙන් දිටුදැමි යෙහිත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, පරලොවත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, සිත පිළිබඳ වූත් දුකක් දොම්නසක් විඳී ද, පණිවායෙන් වැළකුණහුට මේ බයවෙර සන්හුන්නේ වේ. ගැහැවි, නුදුන් දෑ ගන්නාසුල්ලෙක් අයිනාදන් පසයෙන් යම් ... ගැහැවි, කාමයෙහි මිසහසර ඇත්තෙක් කාමයෙහි මිසහසරපසයෙන් යම් ... ගැහැවි, මුසා බණන්නෙක් මුසවාපසයෙන් යම් ... ගැහැවි පමාවට කරුණු වූ රහමෙර මත්පැන් බොනසුල්ලෙක් පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පසයෙන් දිටුදැමියෙහිත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, පරලොවත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, සිත පිළිබඳ වූත් දුකක් දොම්නසක් විඳී ද, පමාට කරුණු වූ රහමෙර මත්පැන් පානයෙන් වැළකුණහුට මේ බය වෙර සන්හුන්නේ වේ. මේ පස් බිය වෙර සන්හුන්නේ වේ.
කවර සිවු සෝවන් අඟින් යුතු වූයේ ද යත්: ගැහැවි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙ කරුණෙනු දු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මේ සිවුසෝවන් අඟින් යුතු වූයේ වෙයි.
කවර අරීනයෙක් ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වේ ද යත්: ගැහැවි, මෙහි අරීසවු තෙමේ “අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්රත්යයයෙන්, විඥානය වේ. විඥානප්රත්යයයෙන් නාමරූප වේ. නාමරූපප්රත්යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්රත්යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශප්රත්යයයෙන් වේදනාවෝ වෙති. වේදනා ප්රත්යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්රත්යයයෙන් උපාදාන වේ. උපාදානප්රත්යයයෙන් භවය වේ. භවප්රත්යයයෙන් ජාතිය වේ. ජාතිප්රත්යයයෙන් ජරා මරණ ශෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැනීම වේ. අවිද්යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. “මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ” යි යම් මේ පිළිසමුපාදහමෙක් වේ නම් “මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙසේ මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ” යි පිළිසමුපා ම මැනවින් නුවණින් මෙනෙහි කෙරෙයි. මේ අරීනය ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වෙයි.