11. 3. 9.
භික්ඛු සූත්රය
3797. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ මේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද් ද, මේ සිවුසෝවන් අඟින් යුතු වූයේ වේ ද, මේ අරීනය ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිඳුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වනුයේ “ක්ෂය වූ නිරය ඇතියෙම් ක්ෂය වූ තිරිසන් යොන් ඇතියෙම් ක්ෂය වූ ප්රේතවිෂය ඇතියෙම් ක්ෂය වූ අපායදුර්ගතිවිනිපාත ඇතියෙම් වෙමි. මම විවස ව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි” යි තෙමේ ම තමා පවසන්නේ යි.
11. 3. 10.
නන්දක සූත්රය
3798. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කුළුගේහල්හි වැඩ වසනසේක. එකල්හි නන්දක නම් ලිච්ඡවි මහාමාත්රයෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් නන්දක නම් ලිච්ඡවි මහාමාත්රයන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. නන්දක, සිවු දහමෙකින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: නන්දක, මෙහි අරීසවු තෙමේ “භාග්යවතුන් වහන්සේ මෙකරැණෙනුදු ... දෙවි මිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්ත ශීලයෙන් සමන්වාගත වෙයි. නන්දක, මේ සිවුදහමින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ.
නන්දක, මේ සිවු දහමින් යුතු අරීසවු තෙමේ දෙව්මුවා වූත් මිනිස්මුවා වූත් ආයුෂයෙන් යුතු වූයේ වෙයි. වර්ණයෙන් ... සුවයෙන් ... යසසින් ... දෙව්මුවා වූත් මිනිස්මුවා වූත් අධිපති බැවින් යුතු වූයේ වෙයි. නන්දක, මම එය අන් මහණකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නො කියමි. වැලිදු යමක් මවිසින් තමා ම දන්නා ලද්දේ තමා ම දක්නා ලද්දේ තමා ම අවබෝධ කරන ලද්දේ නම් එය ම මම කියමි යි. මෙසේ වදාළ කල්හි එක්තරා පුරුෂයෙක් නන්දක නම් ලිච්ඡවි මහාමාත්රයන්ට හිමියනි, “නහන කලැ”යි මෙය කී ය. “කොල, දැන් මේ බාහිර නෑමෙන් කම් නැත. භාග්යවතුන් වහන්සේ කෙරෙහි යම් ඒ පැහැදීමෙක් වේ නම් මේ ඇතුළත නෑම පමණ වන්නේ” යි.
තෙවෙනි සරකානිවර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
මහානාම නමින් තුනෙක් ද, සරකානි නමින් අනෙක් දෙකෙක් ද, අනාථපිණ්ඩික නමින් තුනෙක් ද, භික්ඛු නන්දක යී දෙකෙක් දැ යි දශසූත්ර කෙනෙක් කියන ලදහ.