11. 3. 5.
දුතිය සරකානි සූත්රය
3793. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ ශාක්යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සරකානි ශාක්යතෙමේ කලුරිය කෙළේ වෙයි. හෙතෙමේ “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යී භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි වූ කලී බොහෝ ශාක්යයෝ එක් රැස් ව අවමන් කෙරෙත්. ගරහත්, දොස් පහළ කෙරෙත්. “භවත්නි, අසිරි යි. භවත්නි, පුදුම යි. ‘යම් සරකානි නම් ශාක්යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්’යී භාග්යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද? සරකානි ශාක්ය තෙමේ ශික්ෂාව පිරිපුන් නොකරනසුලු වී”යි.
එකල්හි මහානාම ශාක්යයෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් මහානාම ශාක්යයෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළ හ: “වහන්ස, මෙහි සරකානි ශාක්ය තෙමේ කලුරිය කෙළේ ය. ‘හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්’ යී භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි වනාහි බොහෝ ශාක්යයෝ එක්ව රැස් ව අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්. භවත්නි, අසිරි යි. භවත්නි, පුදුම යි. ‘යම් සරකානි නම් ශාක්යයෙක් කලුරිය කෙළේ ද හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්’යී භාග්යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නො වන්නේ ද? සරකානි ශාක්ය තෙමේ ශික්ෂාව පිරිපුන් නොකරනසුලු වී”යි.
මහානාම, යම් ඒ උවසුවෙක් දිගුකලක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සඟුන් සරණ ගියේ වේ නම් හෙතෙමේ කෙසේ නිරයට යන්නේ ද? මහානාම, මැනවින් කියන්නෙක් “උවසු තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සඟුන් සරණ ගියේ”යි ඒ යමකු ඇරබ කියන්නේ නම් මැනවින් කියන්නා සරකානි ශාක්යයා ඇරබ කියන්නේ ය. මහානාම, උවසු වූ සරකානි ශාක්ය තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියේ ය. දහම් සරණ ගියේ ය. සඟුන් සරණ ගියේ ය. හෙතෙමේ කෙසේ නම් නිරයට යන්නේ ද?
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ (=නොසැලෙන සැදැහැ ඇත්තේ) බෙහෙවින් පහන් වූයේ වෙයි. “දහම් කෙරෙහි ... ලොවට අනුතුරු පින්කෙතැයි සඟුන් කෙරෙහි ... හාසබහුල ප්රඥා ඇත්තේ ජවන ප්රඥා ඇත්තේ විමුක්තියෙන් ද සමන්වාගත වූයේ වෙයි. හෙතෙමේ ආස්රවයන් ක්ෂය කිරීමෙන් අනාස්රව වූ ඵලසමාධියත් ඵලප්රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් වෙසෙසින් මිදුණේ ය. තිරිසන්යෝනියෙන් වෙසෙසින් මිදුණේ ය. ප්රේතවිෂයයෙන් වෙසෙසින් මිදුණේ ය. අපායදුග්ගතිවිනිපාතයෙන් වෙසෙසින් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ බෙහෙවින් පහන් වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟුන් කෙරෙහි ... හාසබහුල ප්රඥා ඇත්තේ ය. ජවනප්රඥා ඇත්තේ ය. විමුක්තියෙන් නො ද සමන්වාගත ය. හෙ පස් ඕරම්භාගියසංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපහච්ච පරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය ... අපායදුග්ගතිවිනිපාතයෙන් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ බෙහෙවින් පහන් වූයේ වෙයි. ධර්මය කෙරෙහි ... ලෝකයාට අනුත්තරපුණ්යක්ෂේත්ර ය”යි සඞ්ඝයා කෙරෙහි ... හාස ප්රඥා ඇත්තේ නො වෙයි. ජවනප්රඥා ඇත්තේ නො වෙයි. විමුක්තියෙන් නො ද සමන්වාගත ය. හෙ ත්රිවිධසංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වෙයි. එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහානාම, මම පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය ... අපායදුග්ගතිවිනිපාතයෙන් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ වෙසෙසින් පහන් වූයේ වෙයි. ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... හාසුප්රඥා ඇත්තේ නො වේ. ජවනප්රඥා ඇත්තේ නො වේ. විමුක්තියෙන් නො ද සමන්වාගත ය. හෙ ත්රිවිධසංයෝජනයන් ක්ෂය කිරීමෙන් විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. මහානාම මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය ... අපායදුග්ගතිවිනිපාතයෙන් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි ඒකාන්තබවට ගියේ බෙහෙවින් පහන් වූයේ නො ම වෙයි. ධර්මය කෙරෙහි ... නො ම වෙයි. සඞ්ඝයා කෙරෙහි ... නො ම වෙයි. හාසුප්රඥා ඇත්තේ නො ම වෙයි. ජවනප්රඥා ඇත්තේ නො ම වෙයි. විමුක්තියෙන් නො ද සමන්වාගත ය. වැලිදු ඔහුට සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යන මේ දහම්හු වෙත්. තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද දහම්හු ද නුවණින් පමණ විසින් ම ඔහුගේ දැක්මට සුදුසු වෙත්. මහානාම, මේ පුඟුල් තෙමේ ත් නිරයට නොයන්නෙකි. තිරිසන් යොනට නො යන්නෙකි. ප්රේතවිෂයට නොයන්නෙකි. අපාය දුර්ගති විනිපාතයට නො යන්නෙකි.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ වෙසෙසින් පහන් වූයේ නො ම වෙයි. ධර්මය කෙරෙහි ... නො ම වෙයි. සඞ්ඝයා කෙරෙහි ... නො ම වෙයි. හාසබහුල ප්රඥා ඇත්තේ නො ම වෙයි. ජවනප්රඥා ඇත්තේ නො ම වෙයි. විමුක්තියෙන් නො ද සමන්වාගත ය. වැලිදු ඔහුට සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යන මේ දහම්හු වෙති. තථාගතයන් කෙරෙහි දු ඔහුට ශ්රද්ධාමාත්රයෙක් ප්රේමමාත්රයෙක් වෙයි. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයට නො යන්නෙකි. තිරිසන් යොනට නො යන්නෙකි. ප්රේතවිෂයට නො යන්නෙකි. අපාය දුර්ගතිවිනිපාතයට නො යන්නෙකි.