11. 3. 6.
අනාථපිණ්ඩික සූත්රය
3794. එසමයෙහි අනේපිඬු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වෙයි. එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ එක්තරා පුරුෂයකු ඇමතී ය: “එම්බා පුරුෂය, එව. තෙපි ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවන් වෙත එළඹෙවු. එළඹ “වහන්ස, අනේපිඬු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවන්ගේ පා හිසින් වඳී”යි මා වදනින් ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවන්ගේ පා හිසින් වඳිවු. මෙසේත් කියවු: වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ අනුකම්පා නිසා අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක්වා”යි.
එසේ ය හිමියනි, යි ඒ පුරුෂ තෙමේ අනේපිඬු ගැහැවිහට පිළිතුරු දී ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවන්ට මෙය කී ය. “වහන්ස, අනේපිඬු ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වෙයි. හෙ ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවන්ගේ පා හිසින් වඳියි. මෙසේත් කියයි: “වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවෝ අනුකම්පා නිසා අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක්වා”යි. ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ මුවෙන් නොබැණ ඉවසූහ.
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන ආයුෂ්මත් ආනන්ද පසු මහණහු සමග අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ අනේපිඬු ගැහැවිහට මෙය වදාළහ: “ගැහැවි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද්ද? ඔවුන්ගේ අඩුවීම පැනේ ද? වැඩිවීමෙක් නො පෙනේ දැ යි? වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක්වේදනාවෝ වැඩි වෙත්, අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩි වීම පෙනේ, අඩු වීමෙක් නො පෙනේ යි.
ගැහැවිය, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්ගතිවිනිපාත නිරයට පැමිණේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවිය, “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙක් තොපට ඇත් ම ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ ඒ ගුණ දැන පැහැදීම ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහු ය.
ගැහැවි, දහම්හි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්ගතිවිනිපාත නිරයට පැමිණේ නම් දහම්හි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවි, “භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛ්යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙක් තොපට ඇත් ම ය. දහම්හි වූ ඒ ගුණ දැන පැහැදීම ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, සඟුන් කෙරෙහි යම්බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්ගති විනිපාත නිරයට පැමිණේ නම් සඟුන් කෙරෙහි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවි, “භාග්යවතුන් වහන්සේගේ සවුසඟහු තෙමේ සුපිළිපන්හ ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙක් තොපට ඇත් ම ය. සඟුන් කෙරෙහි වූ ඒ ගුණ දැන පැහැදීම ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, යම්බඳු දුසිල්කමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු දුසිල් බවෙක් තොපට නැත. ගැහැවි නොකැඩුණු ... සමාධිය පිණිස පවත්නා වූ ආර්ය්ය කාන්තශීලයෝ තොපට ඇත් ම ය. ඒ ආර්ය්යකාන්තශීලයත් තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, යම්බඳු මිථ්යාදෘෂ්ටියෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්යා දෘෂ්ටියක් තොපට නැත. ගැහැවි සම්යග්දෘෂ්ටිය ද තොපට ඇත් ම ය. ඒ සම්යග් දෘෂ්ටිය තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.