11. 2. 7.
දුතිය මිත්තාමච්ච සූත්රය
3785. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම් මිතුරු වු හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවු සෝවන් අඟෙහි සමාදන් කරවියයුතුවහ, වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ. කවර සිවුසෝවන් අඟෙහි යත්: “ඒ,භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුය ... මහණෙනි, පඨවීධාතුවේත් ආපෝධාතුවේත් තේජෝධාතුවේත් වායොධාතුවේත් යන සිවුමහාභූතයන්ගේ වෙනස් බවෙක් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු අරීසවුහුගේ වෙනස් බවෙක් නො ම වන්නේ ය. මේ එහි වෙනස් බව යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු ඒ අරීසවු නිරයට හෝ තිරිසන් යොනට හෝ ප්රේතවිෂයට හෝ පැමිණෙන්නේ ය යන මෙකරුණ එකත්නෙන් නැත. දහම්හි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... සඟන කෙරෙහි, ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවිය යුතු ය ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙහි සමාදන් කරවියයුතු ය ... මහණෙනි, පඨවීධාතුවේත් ආපෝධාතුවේත් තෙජොධාතුවේත් වායොධාතුවේත් යන සිවුමහාභූතයන්ගේ වෙනස් බවෙක් වන්නේ ය. ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත අරීසවුහුගේ වෙනස් බවෙක් නො ම වන්නේ ය. මේ එහි වෙනස් බවයි. ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත ඒ ආර්ය්යශ්රාවක නිරයට හෝ තිරිසන්යෝනට හෝ ප්රේතවිෂයට හෝ පැමිණෙන්නේ ය යන මෙකරුණ එකත්නෙන් නැත. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු මේ සිවුසෝවන් අඟෙහි සමාදන් කරවියයුතුවහ. වැස්වියයුතුවහ. පිහිටු වියයුතුව හ යි.
11. 2. 8.
දේවචාරික සූත්රය
3786. එක්සමයෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ නම් එසෙයින් ම ජේතවනයෙහි අතුරුදන් වූවෝ තවුතිසාදෙවුලොව පහළ වූහ. එකල්හි තවුතිසාවැසි බොහෝ දෙවියෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස්ව සිටි ඒ දෙවියන්ට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
ඇවැත්නි, “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, ධර්මය භාග්යවතුන් වහන්සේ විසින් මැනවින් දේශනා කරන ලද්දේ ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකසඞ්ඝ තෙමේ සුප්රතිපන්න ය ... ලෝකයාට අනුත්තරපුණ්යක්ෂේත්රය” යි සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, ආර්ය්යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්ත ශීලයෙන් යුතුවීම යහපත් ම වේ. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, ආර්ය්යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.