11. 2. 8.
දේවචාරික සූත්‍රය
3786. එක්සමයෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ නම් එසෙයින් ම ජේතවනයෙහි අතුරුදන් වූවෝ තවුතිසාදෙවුලොව පහළ වූහ. එකල්හි තවුතිසාවැසි බොහෝ දෙවියෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස්ව සිටි ඒ දෙවියන්ට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
ඇවැත්නි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් දේශනා කරන ලද්දේ ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍රය” යි සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතුවීම යහපත් ම වේ. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
11. 2. 9.
දුතිය දේවචාරික සූත්‍රය
3787. එක්සමයෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙහි. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් ... තවුතිසා දෙව්ලොව පහළ වූහ. එකල්හි බොහෝ වූ තව්තිසාවැසි දෙවියෝ ... ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ. ඇවැත්නි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ යි.
නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහිඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ චූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ යි.
11. 2. 10.
තතිය දේවචාරික සූත්‍රය
3788. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම්සේ බලවත් පුරුෂයෙක් ... එසෙයින් ම ජේතවනයෙහි අතුරුදන් වූ සේක් තවුතිසා දෙව්ලොව පහළ වූ සේක. එකල්හි බොහෝ වූ තවුතිසාවැසි දෙවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි ඒ දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ඇවැත්නි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මනා ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම්හු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ. ඇවැත්නි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම මනා ම වේ. ඇවැත්නි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම්හු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ යි.