11. 2. 6.
මිත්තාමච්ච සූත්‍රය
3784. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම්, මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් තොප විසින් ඔහු සිවු සෝවන් අඟෙහි සමාදන් කරවියයුතු ය. වැස්වියයුතු ය. පිහිටුවියයුතු ය. කවර සිවු සෝවන් අඟෙහි යත්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධහ. භගවත්යහ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය.
“ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝයා සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙහි සමාදන් කරවියයුතු ය ... මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරන්නාහු නම්, මිතුරු වු හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු මේ සිවු සෝවන් අඟෙහි සමාදන් කරවිය යුතු ය, වැස්වියයුතු ය. පිහිටුවියයුතු ය යි.
11. 2. 7.
දුතිය මිත්තාමච්ච සූත්‍රය
3785. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම් මිතුරු වු හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවු සෝවන් අඟෙහි සමාදන් කරවියයුතුවහ, වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ. කවර සිවුසෝවන් අඟෙහි යත්: “ඒ,භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුය ... මහණෙනි, පඨවීධාතුවේත් ආපෝධාතුවේත් තේජෝධාතුවේත් වායොධාතුවේත් යන සිවුමහාභූතයන්ගේ වෙනස් බවෙක් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු අරීසවුහුගේ වෙනස් බවෙක් නො ම වන්නේ ය. මේ එහි වෙනස් බව යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු ඒ අරීසවු නිරයට හෝ තිරිසන් යොනට හෝ ප්‍රේතවිෂයට හෝ පැමිණෙන්නේ ය යන මෙකරුණ එකත්නෙන් නැත. දහම්හි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... සඟන කෙරෙහි, ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවිය යුතු ය ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙහි සමාදන් කරවියයුතු ය ... මහණෙනි, පඨවීධාතුවේත් ආපෝධාතුවේත් තෙජොධාතුවේත් වායොධාතුවේත් යන සිවුමහාභූතයන්ගේ වෙනස් බවෙක් වන්නේ ය. ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත අරීසවුහුගේ වෙනස් බවෙක් නො ම වන්නේ ය. මේ එහි වෙනස් බවයි. ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත ඒ ආර්‍ය්‍යශ්‍රාවක නිරයට හෝ තිරිසන්යෝනට හෝ ප්‍රේතවිෂයට හෝ පැමිණෙන්නේ ය යන මෙකරුණ එකත්නෙන් නැත. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු මේ සිවුසෝවන් අඟෙහි සමාදන් කරවියයුතුවහ. වැස්වියයුතුවහ. පිහිටු වියයුතුව හ යි.