11. 1. 9.
තතිය ගිඤ්ජකාවසථ සූත්රය
3777. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, අසෝක නම් මහණ කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, අසෝකා නම් මෙහෙණ කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, අසෝක නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ය, අසෝකා නම් උවැසි කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් දැ යි?
ආනන්ද, කලුරිය කළ අසෝක මහණ ආස්රවයන් ක්ෂය කිරීමෙන් අනාස්රව වූ ඵලසමාධියත් ඵලප්රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසී ය ... ආනන්ද යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්ෂය වූ නිරය ඇතියෙම් ක්ෂය වූ තිරිසන්යොන් ඇතියෙම් ක්ෂය වූ ප්රේතවිෂය ඇතියෙම් ක්ෂය වූ අපාය දුර්ගතිවිනිපාත ඇතියෙම් වෙමි. විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම්කැඩපත නම් වූ දහම්නය යි.
(පළමුසුතුර මෙන් විතර කටයුතු)
11. 1. 10.
තතිය ගිඤ්ජකාවසථ සූත්රය
3778. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඤාතගම්හි කකුධ නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, ඤාතගම්හි කාලිඞ්ග නම් උවසු කලුරිය කෙළේ ය. වහන්ස, ඤාතගම්හි නික්ඛ නම් උවසු ... වහන්ස, කටිස්සහ නම් ... වහන්ස, තුට්ඨ නම් ... වහන්ස, සන්තුට්ඨ නම් ... වහන්ස, භද්ද නම් ... වහන්ස ඤාතගම්හි සුභද්ද නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් දැ යි?
ආනන්ද, කලුරිය කළ කකුධ උවසු පස් ඕරම්භාගියසංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතික වූයේ එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙනසුලු වෙයි. ආනන්ද, කලුරිය කළ කාලිඞ්ග උවසු ... ආනන්ද, නික්ඛ ... ආනන්ද, කටිස්සහ ... ආනන්ද, තුට්ඨ ... ආනන්ද, සන්තුට්ඨ ... ආනන්ද, භද්ද ... ආනන්ද, කලුරිය කළ සුභද්ද උවසු පස් ඕරම්භාගිය සංයෝජනයන්, ක්ෂය කිරීමෙන් ඕපපාතික වූයේ එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙනසුලු වෙයි.
ආනන්ද, ඤාතගම්හි පනසකට වැඩි උවසුවෝ කලුරිය කළාහු පස් ඕරම්භාගියසංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතික වූවාහු එලොවින් පෙරළා නො එනසුලු වූවාහු එහි පිරිනිවෙන සුල්ලෝ වෙත්. ආනන්ද, ඤාතගම්හි අනූවකට වැඩි උවසුවෝ කලුරිය කළාහු ත්රිවිධසංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාගදෝස මෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූවාහු එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. ආනන්ද, ඤාතගම්හි පන්සිය සදෙනෙක් උවසුවෝ කලුරිය කළාහු ත්රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් විවසව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූහ.
ආනන්ද, මිනිස් වූවෙක් කලුරිය කරන්නේ නම් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි මා කරා එළඹ මෙකරුණ විචාරන්නහු ය යන යමෙක් ඉදින් ඇද්ද මෙය පුන පුනා අසිරි යි. ආනන්ද, මෙය තථාගතයන්ට වෙහෙසක් ම වන්නේ ය. ආනන්ද, එහෙයින් මෙහිලා යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමැති වන්නේ “මම ක්ෂය වූ නිරය ඇත්තෙම් ක්ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම්, ක්ෂය වූ ප්රේතවිෂය ඇත්තෙම් ක්ෂය වූ අපාය දුර්ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවසව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම් කැඩපත නම් වූ (එබඳු) දහම්නයක් දේශනා කරන්නෙමි.