11. 1. 10.
තතිය ගිඤ්ජකාවසථ සූත්‍රය
3778. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඤාතගම්හි කකුධ නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, ඤාතගම්හි කාලිඞ්ග නම් උවසු කලුරිය කෙළේ ය. වහන්ස, ඤාතගම්හි නික්ඛ නම් උවසු ... වහන්ස, කටිස්සහ නම් ... වහන්ස, තුට්ඨ නම් ... වහන්ස, සන්තුට්ඨ නම් ... වහන්ස, භද්ද නම් ... වහන්ස ඤාතගම්හි සුභද්ද නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් දැ යි?
ආනන්‍ද, කලුරිය කළ කකුධ උවසු පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූයේ එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙනසුලු වෙයි. ආනන්‍ද, කලුරිය කළ කාලිඞ්ග උවසු ... ආනන්‍ද, නික්ඛ ... ආනන්‍ද, කටිස්සහ ... ආනන්‍ද, තුට්ඨ ... ආනන්‍ද, සන්තුට්ඨ ... ආනන්‍ද, භද්ද ... ආනන්‍ද, කලුරිය කළ සුභද්ද උවසු පස් ඕරම්භාගිය සංයෝජනයන්, ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූයේ එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙනසුලු වෙයි.
ආනන්‍ද, ඤාතගම්හි පනසකට වැඩි උවසුවෝ කලුරිය කළාහු පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූවාහු එලොවින් පෙරළා නො එනසුලු වූවාහු එහි පිරිනිවෙන සුල්ලෝ වෙත්. ආනන්‍ද, ඤාතගම්හි අනූවකට වැඩි උවසුවෝ කලුරිය කළාහු ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝස මෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූවාහු එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. ආනන්‍ද, ඤාතගම්හි පන්සිය සදෙනෙක් උවසුවෝ කලුරිය කළාහු ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් විවසව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූහ.
ආනන්‍ද, මිනිස් වූවෙක් කලුරිය කරන්නේ නම් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි මා කරා එළඹ මෙකරුණ විචාරන්නහු ය යන යමෙක් ඉදින් ඇද්ද මෙය පුන පුනා අසිරි යි. ආනන්‍ද, මෙය තථාගතයන්ට වෙහෙසක් ම වන්නේ ය. ආනන්‍ද, එහෙයින් මෙහිලා යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමැති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම්, ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවසව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම් කැඩපත නම් වූ (එබඳු) දහම්නයක් දේශනා කරන්නෙමි.
ආනන්‍ද, යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමැති වන්නේ ... නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති (සෝවන්) වෙමි යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම් කැඩපත නම් වූ ඒ දහම්නය කවරේ දැ යි? ආනන්‍ද මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනුදු ... දෙවි මිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනිත වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. ආනන්‍ද, යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමැති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන්යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපායදුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවසව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිටකොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම් කැඩපත නම් වූ දහම්නය යි.
පළමුවැනි වේළුද්වාර වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
රාජ බ්‍රහ්මචරියෝගධ දීඝාවූ යි සූත්‍ර තුනෙකි. අනෙක් ශාරීපුත්‍ර සූත්‍ර දෙකෙකි. ථපති වේළුද්වාරෙය්‍යක යි දෙකෙකි. ගිඤ්ජකාවසථ සූත්‍ර තුනෙකි යි මුළුල්ල දසයෙකි යි.