11. 1. 8.
ගිඤ්ජකාවසථ සූත්‍රය
3776. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතගමෙක්හි උළුගෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, සාළා නම් මහණ කලුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, නන්‍දා නම් මෙහෙණ කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් ද? වහන්ස, සුදත්ත නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් ද? වහන්ස, සුජාතා නම් උවැසි කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් දැයි.
ආනන්‍ද කලුරිය කළ සාළා මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසීය. ආනන්‍ද කලුරිය කළ නන්‍දා මෙහෙණ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූවා එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇත්තී එහි ම පිරිනිවෙනසුලු වූවා ය. ආනන්‍ද, කලුරිය කළ සුදත්ත උවසු ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝස මෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූයේ එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ය. ආනන්‍ද කලුරිය කළ සුජාතා උවැසි ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් විවස ව නොහෙනසුලු වූවා නියත වූවා සම්බෝධිය පිහිට කොට ඇත්තී සෝවාන් වූවා ය.
ආනන්‍ද, මිනිස් වූවෙක් කලුරිය කරන්නේ නම් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි ඉදින් මා කරා එළඹ මෙකරුණ පුළුවුස්නහු ය යන යමෙක් වේ ද මෙය පුන පුනා ඇසිරියෙකි. ආනන්‍ද, මෙය තථාගතයන්ට වෙහෙසක් ම වන්නේ ය. ආනන්‍ද, එහෙයින් මෙහි ලා යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ පෙත්තිවිසය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුග්ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම් කැඩපත නම් වූ (එබඳු) දහම් නයක් දේශනා කරන්නෙමි.
ආනන්‍ද, යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන්යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම්කැඩපත නම් වූ ඒ දහම්නය කවරේ දැ යි: ආනන්‍ද මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ, බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. ආනන්‍ද යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම් කැඩපත නම් වූ දහම්නය යි.
11. 1. 9.
තතිය ගිඤ්ජකාවසථ සූත්‍රය
3777. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, අසෝක නම් මහණ කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, අසෝකා නම් මෙහෙණ කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, අසෝක නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ය, අසෝකා නම් උවැසි කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් දැ යි?
ආනන්‍ද, කලුරිය කළ අසෝක මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසී ය ... ආනන්‍ද යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇතියෙම් ක්‍ෂය වූ තිරිසන්යොන් ඇතියෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇතියෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගතිවිනිපාත ඇතියෙම් වෙමි. විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම්කැඩපත නම් වූ දහම්නය යි.
(පළමුසුතුර මෙන් විතර කටයුතු)