11. 1. 7.
වේළුද්වාරෙය්ය සූත්රය
3775. එක්කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි මහත් බික්සඟන සමඟ චාරිකාවෙහි හැසිරෙන සේක් කොසොල් දනවු වැස්සන්ගේ වේළුද්වාර නම් බමුණුගම වෙත පැමිණිසේක. වේළුද්වාර වැසි බමුණුගැහැවියෝ “ශාක්යකුලයෙන් පැවිදි වූ ගොයුම් ගොත් ඇති භවත් ශ්රමණ ශාක්යපුත්රයෝ මහත් බික්සඟන සමග කොසොල් දනව්වෙහි චාරිකාවේ හැසිරෙන සේක් වේළුද්වාර නුවරට පිළිවෙළින් පැමිණි සේක. ඒ භගවත් ගෞතමයන් ගේ මෙබඳු කළණ කිතු සදෙක් උස් ව පැන නැංගේය: “ඒ භාග්යවත්හු මෙ කරුණෙනු දු අර්හත්හ, සම්යක් සම්බුද්ධ හ. විද්යාචරණසම්පන්න හ, සුගත හ, ලෝකවිදූ හ, අනුත්තරපුරිසදම්මසාරථී හ, දෙවිමිනිසුන්ට ශාස්තෲ හ. බුද්ධ හ. භගවත් හ”යි, ඔවුන් වහන්සේ දෙවියන් සහිත් මරුන් සහිත බඹුන් සහිත මහණබමුණන් සහිත මේ ලොව දෙවිමිනිසුන් සහිත ප්රජාව තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසන සේක. ඔවුන් වහන්සේ මුල කලණ වූ මැද කලණ වූ අවසන කලණ වූ අරුත් සහිත ව්යඤ්ජන සහිත හුදෙක් පිරිපුන් පිරිසිදු බඹසර පවසන සේක. එබඳු රහතුන් ගේ දැක්ම යහපත් වේ”යි ඇසූහ.
ඉක්බිති වේළුද්වාර වැසි බමුණුගැහැවියෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ඇතැම් කෙනෙක් භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත් පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි නම් ගොත් අස්වා එකත්පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් මුවින් නො බැණ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් වේළුද්වාර වැසි බමුණුගැහැවියෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළහ. “භවත් ගෞතමයෙනි, අපි දරුවන්ගෙන් හක වූ යහන්හි වෙසෙන්නමෝ සිනිඳු සඳුන් ගල්වන්නමෝ මල්ගඳවිලෙවුන් දරන්නමෝ රන්රිදී ඉවසන්නමෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙන්නමෝ යි මෙබඳු කාම ඇත්තමෝ මෙබඳු ඡන්ද ඇත්තමෝ මෙබඳු අදහස් ඇත්තමෝ වම්හ. යම් සේ අපි දරුවන් ගෙන් හක වූ යහන්හි වසන්නමෝ සිහිල් සඳුන් ගල්වන්නමෝ මල්ගඳවිලෙවුන් දරන්නමෝ රන්රිදී ඉවසන්නමෝ කාබුන් මරණින් මතුත් සුගති සගලොවට පැමිණෙන්නමෝ නම් මෙබඳු කාම ඇති මෙබඳු ඡන්ද ඇති මෙබඳු අදහස් ඇති ඒ අපට භවත් ගෞතමයන් වහන්සේ එසේ දහම් දෙසන සේක්වා”යි.
ගැහැවියෙහි, තමා එළවා දැක්වීම ඇති දහම්නය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. භවත්නි, එසේ ය යි වේළුද්වාරවැසි බමුණු ගැහැවියෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
ගැහැවියෙනි, තමා එළවා දැක්වීම ඇති දහම් නය කවරේ ද යත්: ගැහැවියෙනි, මෙහි අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. මම වනාහි ජීවත් වනු කැමැත්තෙම් නො මැරෙනු කැමැත්තෙම් සුව කැමැත්තෙම් දුකට පිළිකුල් කරන්නෙම් වෙමි. යමෙක් ජීවත් වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුකට පිළිකුල් කරන මා දිවියෙන් තොර කරන්නේ නම් එය මට ප්රිය මනාප නො වන්නේ ය. මම ද ජීවත් වනු කැමති නො මැරෙණු කැමති සුව කැමති දුකට පිළිකුල් කරණ මෙරමා දිවියෙන් තොර කරන්නෙම් නම් මෙරමාහට ද එය අප්රිය අමනාප වන්නේය. යම් මේ දහමෙක් මට අප්රිය අමනාප වේ නම් මෙරමාහට ද ඒ දහම අප්රිය අමනාප වේ. යම් මේ දහමෙක් මට අප්රිය අමනාප නම් කෙසේ මම මෙරමා ඒ දහම සමග යොදන්නෙම් දැ යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් පණිවායෙන් වැළකුණේ වෙයි. මෙරමාත් පණිවායෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. පණිවායෙන් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ කාය සංවරය තුන්කෙළවර පිරිසිදු වූයේ වෙයි.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි; අරීසවු තෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් මාගේ නුදුන් දෑ සොරසිතින් ගන්නේ නම් එය මට ප්රිය මනාප නො වන්නේ ය. මමත් මෙරමාගේ නුදුන් දෑ සොරසිතින් ගන්නෙම් නම් මෙරමාහට ද එය අප්රිය අමනාප වන්නේය. යම් මේ දහමෙක් මට අප්රිය අමනාප වේ නම් මෙරමාහට ද මේ දහම අප්රිය අමනාප වේ. යම් මේ දහමෙක් මට අප්රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ දහම සමග යොදන්නෙම් දැ යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් අයිනාදනින් වැළකුනේ වේ. මෙරමාත් අයිනාදනින් වෙන් වීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ කායසංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වේ.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි. අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි: “යමෙක් මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්රිය මනාප නො වන්නේ ය. මමත් මෙරමාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නෙම් නම් මෙරමාහට ද එය අප්රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්රිය අමනාප වේ නම් මෙරමාහට ද ඒ දහම අප්රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් කාමයෙහි මිසහසරින් වැළකුනේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් වෙන් වීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ කායසංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වෙයි.