11. 1. 6.
ථපති සූත්‍රය
3774. එසමයෙහි බොහෝ භික්‍ෂූහු “නිමාසිවුරු ඇති (අනුසස් කාලය නිම වූ සිවුරු ඇති) භාග්‍යවතුන් වහන්සේ තෙමස අවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැ”යි භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙත්. එසමයෙහි ඉසිදත්ත පුරාණ වඩුවෝ දෙදෙන කිසියම් කටයුත්තක් හේතු කොට සාධුක නුවර වෙසෙත්. ඉසිදත්ත පුරාණ වඩුවෝ නිමා සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස් ඇවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැයි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු කම් කෙරෙති යි ඇසූහ.
ඉක්බිති ඉසිදත්ත පුරාණ වඩුවෝ “එම්බල පුරුෂය යම් කලෙක තෙපි වඩනා අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දක්නහු නම් එකල්හි අපට සැල කරන්නහු”යි මඟ පුරුෂයකු තැබූහ. දෙතුන් දිනක් සිටි ඒ පුරුෂ තෙමේ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දිටී. දැක ඉසිදත්ත පුරාණ වඩුවන් වෙත එළඹියේ ය. එළඹ ඉසිදත්ත පුරාණ වඩුවන්ට මෙය සැලකෙළේ ය. “හිමියෙනි, ඒ මේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක. යමකට දැන් කල් දන්නහු නම් මැනවැ”යි.
එකල්හි ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ භාග්‍යවතුන් වහන්සේ පසු පස අනුගමන් කළහ. එකල භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත් ව එක්තරා රුක්මුලකට එළඹි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. එකත් පස්ව හුන් ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් කොසොල් දනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් කොසොල් දනව්වෙහි චාරිකාවට වැඩි සේ කැ”යි අසමෝ නම් එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් කසීදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් කසීදනව්වට චාරිකාවෙහි වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.