1. 8. 13.
දුතිය අප්පමාද සූත්‍රය
89. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ අප්‍රමාදසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, අප්‍රමාදසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 8. 14.
දුතිය යෝනිසෝ සූත්‍රය
90. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ යෝනිසෝමනසිකාරසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ රාගවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට ද්වෙෂවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට මෝහවිනවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
දුතිය ඒකධම්ම පෙය්‍යාල යි.
එහි සූත්‍රනාමාවලිය:
කල්‍යාණමිත්ත, සීල, ඡන්‍ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍ර යුගල සයෙකි. යෝනිසෝ සූත්‍රයුගලය සත් වැනි වේ. (වර්‍ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.